2014 දෙසැම්බර් 3
ඩෙන්මාර්කය
ලේ නැතුව කරන සැත්කම්වලට පාර කැපුවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්
ඩෙන්මාර්කයේ කෝපන්හේර්ගන්—ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ආයතන වාර්තා කළේ සැත්කම්වලදී ඩෙන්මාර්කයේ කැපිටල් රීජන්හි (අගනුවර පිහිටි නැඟෙනහිර පළාතේ) රෝහල් මගින් ලේ භාවිතය ගැන වෙනත් සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බවයි. “ලේ ශරීරගත කරන්නේ නැතුව සැත්කම් කරන්න පුළුවන් කියලා සොයාගෙන තිබෙනවා” කියලා එක සඟරාවක පළ වුණා. (Kristeligt Dagblad) ඒකෙ තවදුරටත් සඳහන් වුණේ “ඒ වගේ සැත්කම් හඳුන්වා දුන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්” කියලයි. ඩෙන්මාර්කයේ ඉන්න 14,000කට වඩා වැඩි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඇතුළුව ලොව පුරා ඉන්න ලක්ෂ 80කට වැඩි සාක්ෂිකරුවන් හොඳම වෛද්‍ය සත්කාර බලාපොරොත්තු වුණත් ලේ ශරීරගත කරන්නේ නැත්තේ ඔවුන්ගේ ආගමික විශ්වාසය නිසයි.
ඩෙන්මාර්කය, සැත්කම්වලදී රුධිරය ලබාගන්නා රෝගීන් වැඩියෙන්ම ඉන්න රටවල් අතරින් එකක්. ඒ රෝගීන් සංඛ්‍යාව යුරෝපයේ වෙනත් රටවල් එක්ක බලද්දී 50% කට වඩා වැඩියි. සැත්කම්වලදී වෛද්‍යවරු කලින් ලේ පාවිච්චි කළත් “ඒ වෙනුවට වෙනත් ක්‍රම සොයා බලන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෛද්‍යවරුන්ට උනන්දු කර තිබෙනවා.” එහෙම සඳහන් වුණේ ප්රවෘත්ති වෙබ් අඩවියක ‘ලේ පාවිච්චි නොකර සිදු කරන සැත්කම්වලට වැඩි කැමැත්තක්’ කියන වෙබ් ලිපියේයි. (Politiken) සාක්ෂිකරුවන්ගේ රෝගීන්ට සත්කාර කරද්දී රුධිරය අපතේ යෑම වළක්වන හෝ ශරීරයේ ලේ මට්ටම වැඩි කරන විවිධ ක්‍රම පාවිච්චි කරන්න දැන් දැන් සමහර වෛද්‍යවරුන් පෙලඹිලා තියෙනවා. ඒ සඳහා ඔවුන් සැත්කමට කලින් එරිත්‍රොපොයටින්, යකඩ සහ විටමින් B-complex රෝගියාට ලබා දෙනවා. ලේ අනවශ්‍ය විදිහට අපතේ නොයෑම සඳහා ලේ කැටි ගැසීමට උදව් වෙන බෙහෙත් වර්ගත් පාවිච්චි කරනවා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 5ත් 10ත් අතර සංඛ්‍යාවක් බරපතළ හදවත් සැත්කම් සඳහා හැම අවුරුද්දකම අවුරූස් විශ්වවිද්‍යාල රෝහලට එනවා” කියලා එක පුවත්පතක පළ වුණා.—The Copenhagen Post.
ලේ ශරීරගත කරන එකෙන් රෝගීන්ගේ ජීවිතවලට ලොකු අවදානමක් තියෙනවා කියලත් ඩෙන්මාර්කයේ වෛද්‍යවරුන් තේරුම් අරගෙන තියෙනවා. නවීනම තාක්ෂණික උපකරණවලින් සමන්විත ඩෙන්මාර්කයේ තියෙන විශාලම රෝහල්වලින් එකක් තමයි කෝපන්හේර්ගන්වල පිහිටි රිග්ස්හොස්පිටලට් කියන රෝහල. එහි වෛද්‍යවරුන් 2009දී රුධිරය භාවිතය සම්බන්ධයෙන් විශේෂ ව්‍යාපෘතියක් පටන්ගත්තා. පුවත්පත් වාර්තාවකට අනුව රෝගීන්ට ලේ ශරීරගත කරන එක අඩු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට සැත්කමෙන් පසුව රෝගීන් මුහුණ දෙන “සංකූලතා විතරක් නෙමෙයි මරණ සංඛ්‍යාවත් අඩු වෙලා තියෙනවා.” (Berlingske) කැපිටල් රීජන්හි අනිත් රෝහලුත් දැන් ඒ ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා. අනිත් පළාත්වල තියෙන රෝහලුත් සම්බන්ධ වෙන්න සැලසුම් කරමින් ඉන්නවා.
රිග්ස්හොස්පිටලට් රෝහලේ ලේ බැංකුවේ ප්‍රධානියා සහ පර්යේෂක වෛද්‍ය මෝට්න් බෑග් හැන්සන් කියන විදිහට ඩෙන්මාර්කයේ සැත්කම්වලදී සෑහෙන දුරට ලේ පාවිච්චි කිරීම අඩු කරපු එකෙන් “රෝගීන්ට ලැබෙන ප්‍රයෝජන එන්න එන්නම වැඩි වෙනවා” කියලා ඒ පුවත්පතේ තවදුරටත් සඳහන් වුණා. රිග්ස්හොස්පිටලට් රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඇස්ට්‍රිඩ් නෝගාර්ඩ් කියපු දෙයක් ඩෙන්මාර්කයේ ගුවන්විදුලියේ විකාශනය වුණා වගේම පුවත්පතකත් වාර්තා වුණා. ඔහු කිව්වේ මෙහෙමයි. “ලේ ශරීරගත කරන්නේ නැතුව කරන මේ සැත්කම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොහිටින්න අද අපි කරන එකක් නැහැ.”
මාධ්‍ය ප්‍රකාශකයන්:
ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000
ඩෙන්මාර්කය: එරික් ජෝගන්සන්, විමසීම්: +45 59 45 60 00