මහ බැබිලෝනිය කියන්නේ මොකක්ද?
බයිබලයේ ඒ ගැන කියන දේ
එළිදරව් පොතේ “ස්ත්‍රියක්” ගැන සඳහන් වෙනවා. එයාව “මහා ගණිකාවක්” විදිහට හඳුන්වලා තියෙනවා. එයාගේ නමේ ‘තේරුම අභිරහසක්. ඒ නම තමයි “මහ බැබිලෝනිය.”’ (එළිදරව් 17:1, 3, 5) “දෙවියන් ගැන සත්‍යය ප්‍රතික්ෂේප කරලා බොරුව පස්සේ යන” ලෝකයේ සියලුම බොරු ආගම් ඒ ස්ත්‍රියගෙන් නියෝජනය වෙනවා. a (රෝම 1:25) “ඒ ආගම් එකිනෙකට වෙනස් වුණත් ඒවා එක පැත්තකින් සමානයි. ඒක තමයි ඒ හැම ආගමක්ම සැබෑ දෙවියන් වන යෙහෝවාගෙන් මිනිස්සුන්ව ඈත් කරවන එක.—ද්විතීය කතාව 4:35.
මහ බැබිලෝනිය හඳුනගන්න උදව් වෙන ප්‍රධාන ලක්ෂණ
මහ බැබිලෝනිය කියන්නේ සංකේතයක්. එළිදරව් පොතේ කරුණු විස්තර කරලා තියෙන්නේ “සංකේත” යොදාගෙන. ඒ නිසා මහ බැබිලෝනිය කියන්නේ ඇත්ත ස්ත්‍රියක් නෙමෙයි සංකේතයක්. (එළිදරව් 1:1) එයා “හුඟක් ජල ධාරා මත ඉඳගෙන ඉන්නවා” කියලත් කියනවා. “ජල ධාරාවලින් ජනවර්ග, ජන සමූහයන්, ජාතීන් සහ විවිධ භාෂා කතා කරන අයව නියෝජනය වෙනවා.” (එළිදරව් 17:1, 15) ඇත්ත ස්ත්‍රියකට ඒ වගේ දෙයක් කරන්න බැහැ.
මහ බැබිලෝනියෙන් නියෝජනය වෙන්නේ ජාත්‍යන්තර සංවිධානයක්. ඒ ස්ත්‍රියගෙන් “මහත් නුවරක් නියෝජනය වෙනවා. පොළොවේ රජවරුන්ව පාලනය කරන රාජ්‍යයක් ඒ නුවරේ තියෙනවා.” (එළිදරව් 17:18) ඒකෙන් තේරෙනවා ජාත්‍යන්තර වශයෙන් විශාල බලපෑමක් කරන්න එයාට හැකියාව තියෙනවා කියලා.
මහ බැබිලෝනිය දේශපාලනික හෝ වානිජ සංවිධානයක් නෙමෙයි, ආගමික සංවිධානයක්. පුරාණ බැබිලෝනිය ‘මන්තර ගුරුකම්, හදිහූනියම්වලට’ ප්‍රසිද්ධ වෙලා තිබුණ ආගමික නගරයක්. (යෙසායා 47:1, 12, 13; යෙරෙමියා 50:1, 2, 38) ඒ නගරයේ හිටපු අය බොරු නමස්කාරයේ හවුල් වෙලා සැබෑ දෙවියන් වන යෙහෝවාට විරුද්ධව වැඩ කළා. (උත්පත්ති 10:8, 9; 11:2-4, 8) බැබිලෝනියේ පාලකයන් අහංකාර විදිහට යෙහෝවා දෙවියන්ටත් ඔහුගේ නමස්කාරයටත් වඩා ඉහළින් යන්න හිතුවා. (යෙසායා 14:4, 13, 14; දානියෙල් 5:2-4, 23) මහ බැබිලෝනියත් ‘භූතවාදයට සම්බන්ධ දේවල්වලට’ ප්‍රසිද්ධයි. ඒකෙන් පේන්නේ මහ බැබිලෝනිය ආගමික සංවිධානයක් කියලයි.—එළිදරව් 18:23.
මහ බැබිලෝනිය දේශපාලනික සංවිධානයක් කියලා කියන්න බැහැ. මොකද ඒක විනාශ වෙද්දී “පොළොවේ රජවරු” හඬා වැලපෙනවා කියලා කියනවා. (එළිදරව් 17:1, 2; 18:9) ඒ වගේම ඒක වානිජ සංවිධානයකුත් නෙමෙයි. මොකද “පොළොවේ ඉන්න වෙළෙන්දෝ” සහ මහ බැබිලෝනිය අතර වෙනස බයිබලයේ පැහැදිලිවම පෙන්නලා තියෙනවා.—එළිදරව් 18:11, 15.
මහ බැබිලෝනිය කියන නම බොරු ආගම්වලට හොඳට ගැළපෙනවා. සැබෑ දෙවියන් වන යෙහෝවාට ළං වෙන විදිහ උගන්වනවා වෙනුවට බොරු ආගම් කරන්නේ මිනිස්සුන්ට වෙනත් දෙවිවරුන් වෙතට යන්න පාර කපන එකයි. බයිබලයේ පෙන්නන්නේ ඒක ‘දෙවියන්ට ද්‍රෝහි’ වීමක් කියලයි. (ලෙවී කතාව 20:6; නික්මයාම 34:15, 16) පුරාණ බැබිලෝනියේ තිබුණු ත්‍රිත්වය, අමරණීය ආත්මය වගේ විශ්වාසයන් සහ නමස්කාරයට රූප පාවිච්චි කරන එක වගේ දේවල් ඒ කාලයේ ඉඳන් අද වෙන කල්ම බොරු ආගම්වල දකින්න තියෙනවා. මේ බොරු ආගම් දෙවියන්ට නමස්කාර කරනවා කියලා පෙන්නුවත් සාතන්ගේ ලෝකය එක්කත් මිතුරුකමක් තියාගන්නවා. මේ විදිහට දෙවියන්ට අවිශ්වාසවන්ත වෙන එක බයිබලයේ හඳුන්වන්නේ දෙවියන්ට ද්‍රෝහි වීමක් විදිහටයි.—යාකොබ් 4:4.
බයිබලයේ මහ බැබිලෝනිය ගැන කියන්නේ එයා “දම් පාට සහ තද රතු පාට ඇඳුම් ඇඳගෙන, රත්තරන්, මුතු මැණික් පැලඳගෙන හිටියා” කියලයි. (එළිදරව් 17:4) අද බොරු ආගම් තමන් සතු ධනය සහ දේපළ ප්‍රදර්ශනය කරන එක ඒ විස්තරයට හොඳට ගැළපෙනවා. “පොළොවේ තියෙන පිළිකුල් දේවල්” ඒ කියන්නේ දෙවියන්ව අගෞරවයට පත් කරන ඉගැන්වීම් සහ ක්‍රියා පටන් අරන් තියෙන්නේ මහ බැබිලෝනියෙන්. (එළිදරව් 17:5) “ජනවර්ග, ජන සමූහයන්, ජාතීන් සහ විවිධ භාෂා කතා කරන අය” මහ බැබිලෝනියට සහයෝගය දෙනවා කියලා බයිබලයේ කියනවා.—එළිදරව් 17:15.
මහ බැබිලෝනිය “පොළොවේ මරලා දාපු හැම කෙනෙක්ගෙමත් ලේවලට” වග කියන්න ඕනේ. (එළිදරව් 18:24) ඉතිහාසය පුරාම බොරු ආගම් යුද්ධ සහ ත්‍රස්තවාදී ක්‍රියාවලට උල්පන්දම් දීලා තියෙනවා විතරක් නෙමෙයි දෙවියන් ගැන සත්‍යය උගන්වලත් නැහැ. ඔහු ප්‍රේමණීය දෙවි කෙනෙක් කියන එක උගන්වන්න ඔවුන් අසමත් වෙලා තියෙනවා. (1 යොහන් 4:8) විශාල වශයෙන් ලේ වැගිරීම් සිද්ධ වෙන්න හේතුව ඒකයි.
මහ බැබිලෝනිය ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද?
මහ බැබිලෝනිය කරපු පව් යෙහෝවා දකින්නේ “ස්වර්ගය වෙන කල්ම උසට ගොඩගැහිලා” තියෙන ඒවා විදිහටයි. (එළිදරව් 18:4, 5) බොරු ආගම් මිනිස්සුන්ව යෙහෝවාගෙන් ඈත් කරලා තියෙන නිසාත් ඔහුට නමස්කාර කරන අයට හිරිහැර කරන නිසාත් යෙහෝවාට ඒ ආගම් ගැන දැනෙන්නේ ලොකු කේන්තියක්.
මහ බැබිලෝනියට වෙන්න යන්නේ මොනවාද?
දෙවියන් මහ බැබිලෝනිය ‘විනිශ්චය කරලා ඇයට දඬුවම්’ කරනවා කියලා බයිබලයේ කියනවා. (එළිදරව් 18:20) බයිබලයේ කියනවා ‘ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් පුච්චලා දානවා’ කියලා. ඒකෙන් සංකේතවත් කරන්නේ බොරු ආගම් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියලයි. (එළිදරව් 18:8) දෙවියන් බලවත් දේශපාලන සංවිධානයක් නියෝජනය කරන තද රතු පාට මෘගයෙක්ගේ හිත පොලඹවනවා බොරු ආගම්වලට විරුද්ධ වෙලා ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න. (එළිදරව් 17:16, 17) ඒ විදිහට “බැබිලෝනිය කියන මහත් නුවරත් එක මොහොතකින් බිමට ඇදලා දානවා. ඊටපස්සේ ඇයව ආයේ කවදාවත් හොයාගන්න බැරි වෙනවා.” (එළිදරව් 18:21) ඒ නිසා දෙවියන්ව සතුටු කරන්න කැමති හැමෝම ‘ඒ අය අතරෙන් පිට වෙලා එයාලාගෙන් අයින් වෙන්න’ ඕනේ.—2 කොරින්ති 6:14-17.
a “සත්‍ය ආගම මොකක්ද කියලා මම දැනගන්නේ කොහොමද?” කියන ලිපිය බලන්න