Skip to content

යොවුන් සිතේ ගැටලු

අම්මා තාත්තා දාපු නීතියක් මගේ අතින් කැඩුණොත් . . .

අම්මා තාත්තා දාපු නීතියක් මගේ අතින් කැඩුණොත් . . .

 සාමාන්‍යයෙන් අම්මලා තාත්තලා එයාලගේ දරුවන්ට සමහර නීති දානවා. උදාහරණෙකට ගෙදර එන්න ඕනෙ කොයි වෙලාවටද, ෆෝන් ටැබ් පාවිච්චි කරන්න පුළුවන් කොච්චර වෙලාවක්ද, හොඳ පුරුදු වගේ දේවල් ගැන එයාලා නීති දානවා.

 අම්මලා දාපු ඒ වගේ නීතියක් ඔයාගේ අතින් කැඩුණොත් මොකද කරන්නේ? වෙච්ච දේ වෙනස් කරන්න නම් ඔයාට බැහැ. හැබැයි ප්‍රශ්නෙ තවත් වැඩි කරගන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන්. ඒ කොහොමද කියලා මේ ලිපියෙන් බලමු.

 මෙහෙම නම් කරන්න එපා

  •   අම්මලා දාපු නීතියක් ඔයාගේ අතින් කැඩුණා කියලා එයාලා දන්නේ නැත්නම් ඒක එයාලගෙන් හංගගෙන ඉන්න ඔයාට හිතෙන්න පුළුවන්.

  •   ඔයා නීතියක් කැඩුවා කියලා අම්මලාට දැනගන්න ලැබුණොත් නිදහසට කරුණු කියන්න එහෙම නැත්නම් වෙන කෙනෙක් පිට වරද පටවන්න ඔයාට හිතෙන්න පුළුවන්.

 ඒ දෙකෙන් එකක්වත් කරන්න යන්න එපා. මොකද ඔයා වරද හංගන්න ගියොත් එහෙම නැත්නම් නිදහසට කරුණු කියන්න ගියොත් ඒකෙන් පේනවා ඔයා තාමත් අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් නෙමෙයි කියලා. ඒ වගේ දේවල් කරන්න ගියොත් අම්මලා හිතයි ඔයා තාමත් වැඩ කරන්නේ පුංචි ළමයෙක් වගේ කියලා.

 “බොරු කියන එකෙන් කවදාවත් හොඳක් වෙන්නේ නැහැ. මොකද කවදා හරි ඇත්ත එළි වෙනවා. එදාට විඳින්න වෙන දඬුවමත් වැඩියි. ඔයා මුලින්ම ඇත්ත කියලා තිබුණා නම් එච්චර දඬුවමක් විඳින්න වෙන්නේ නැහැ.”—ඩයනා.

 කරන්න පුළුවන් හොඳම දේ

  •   වෙච්ච වරද පිළිගන්න. බයිබලයේ කියනවා ‘තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වෙන්නේ නැහැ’ කියලා. (හිතෝපදේශ 28:13) ඔයා හැම දෙයක්ම සීයට සීයක් හරියටම කරයි කියලා අම්මලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි එයාලට ඕනෙ ඔයා ඇත්ත කියනවා දකින්න.

     “ඔයා ඇත්ත කිව්වොත් අම්මලා ගොඩක් කේන්ති ගන්න එකක් නැහැ. අනික, ඔයා කියන්නේ ඇත්ත කියලා තේරුණාම එයාලට ඔයා ගැන තියෙන විශ්වාසයත් වැඩි වෙයි.”—ඔලිවියා.

  •   සමාව ඉල්ලන්න. බයිබලයේ කියනවා ‘නිහතමානීව හැසිරෙන්න පුරුදු වෙන්න’ කියලා. (1 පේතෘස් 5:5) කරපු වරදට නිදහසට කරුණු කියන්නේ නැතුව “මං අතින් ඒ වරද වුණා. සමාවෙන්න” කියලා කියන්න ලොකු නිහතමානිකමක් ඔයාට තියෙන්න ඕනේ.

     “හැම තිස්සෙම නිදහසට කරුණු කියන්න පුරුදු වුණාම වෙන්නේ කරන වැරදි ගැන හිත වධ දෙන එක ටිකෙන් ටික අඩු වෙලා යන එක. අන්තිමේදී ඒ වගේ කෙනෙක්ට එයා කරන වැරදි ගැන කිසිම ගාණක් නැතුව යනවා.”—හෙදර්.

  •   ලැබෙන දඬුවම පිළිගන්න. බයිබලයේ කියනවා ලැබෙන ‘හික්මවීම පිළිගන්න’ කියලා. (හිතෝපදේශ 8:33) දඬුවම සැර වැඩියි කියලා කන්කෙඳිරි ගාන්න එපා. අම්මලා දෙයක් කරන්න එපා කිව්වොත් ඒකට කීකරු වෙන්න.

     “දඬුවම වෙනස් කරන්න කියලා ඔයා නිතරම අම්මලාට වධ දෙන්න ගියොත් ප්‍රශ්නෙ තවත් දුර දිග යයි. හිත හදාගෙන දඬුවම පිළිගන්න. ලැබුණු දඬුවම නිසා ඔයාට කරන්න බැරි දේවල් ගැන හිත හිත ඉන්න එපා.”—ජේසන්.

  •   විශ්වාසය ආයෙත් දිනාගන්න. බයිබලයේ කියනවා ‘ඔබ කලින් හැසිරුණු ආකාරයට හැඩගැසී තිබෙන ඔබේ පරණ පෞද්ගලිකත්වය අහක දමන්න’ කියලා. (එෆීස 4:22) හරි තීරණ අරන් වගකීමෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. එතකොට අම්මලාගේ විශ්වාසය ආයෙත් දිනාගන්න ඔයාට පුළුවන් වෙයි.

     “ඔයා දිගටම හරි තීරණ අරන් වගකීමෙන් වැඩ කළොත් ඔයා අතින් ඒ වගේ වරදක් ආයෙත් වෙන්නේ නැහැ කියන විශ්වාසය ඔයාගේ අම්මලා තුළ ඇති වෙයි.”—කැරන්.

 යෝජනාවක්: අම්මලා ඔයාගෙන් බලාපොරොත්තු වෙනවාට වඩා දෙයක් කරන්න. එහෙම කරද්දී ඔයාට පුළුවන් වෙයි එයාලගේ විශ්වාසය ආයෙත් දිනාගන්න. උදාහරණෙකට ඔයා ගමනක් ගිහින් ආයෙත් ගෙදර එද්දී “මං මේ ඉන්නේ ගෙදර එන ගමන්” කියලා අම්මලාට කෝල් එකක් දීලා කියන්න. ඔයා ගෙදර යන්න පරක්කු වෙන්නේ නැති වුණත් එහෙම කරන්න. එතකොට අම්මලා තේරුම්ගනී ඔයාට ඕනෙ එයාලගේ විශ්වාසය ආයෙත් දිනාගන්න කියලා.