Skip to content

යොවුන් සිතේ ගැටලු

රැස්වීම්වලට යන්න ඕනෙ ඇයි?

රැස්වීම්වලට යන්න ඕනෙ ඇයි?

 සතියට දෙපාරක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාර මධ්‍යස්ථානය කියලා හඳුන්වන ස්ථානයේ රැස් වෙනවා. ඇත්තටම එතන මොනවාද වෙන්නේ? රැස්වීම්වලට යන එකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලදී සිද්ධ වෙන්නේ මොනවාද?

 සාක්ෂිකරුවන් රැස්වීම් පවත්වන්නේ නමස්කාර මධ්‍යස්ථානවල. බයිබලයේ තියෙන අපේ ජීවිතයට ප්‍රයෝජනවත් වන වටිනා මඟ පෙන්වීම් ඒ රැස්වීම්වලදී සාකච්ඡා කරනවා. රැස්වීම්වලට ගියොත් ඔයාට මේ ප්‍රයෝජන ලැබෙයි:

  •   දෙවියන් ගැන සත්‍ය තොරතුරු ඉගෙනගන්න පුළුවන්.

  •   අද කාලේ සිද්ධ වෙන දේවල් ඇත්තටම ඇයි සිද්ධ වෙන්නේ කියලා දැනගන්න පුළුවන්.

  •   හොඳ ගතිගුණ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්.

  •   හොඳ යාළුවන්ව හොයාගන්න පුළුවන්.

 ඔයා දැනගෙන හිටියාද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රැස්වෙන නමස්කාර මධ්‍යස්ථානවලදී වැඩියෙන්ම සාකච්ඡා කරන්නේ දේවරාජ්‍යට සම්බන්ධ කාරණා ගැනයි.—මතෙව් 6:9, 10; 24:14; ලූක් 4:43.

 ඇයි ඔයා රැස්වීම්වලට යන්න ඕනෙ?

 එතනදී ඉගෙනගන්න දේවල් හුඟක් ප්‍රයෝජනවත්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලදී බයිබල් ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරනවා. ඒ තොරතුරු ඔයාට “ප්‍රඥාව ලබාගන්න” උදව්වක්. (හිතෝපදේශ 4:5) ඒ කියන්නේ ජීවිතේ වැදගත් අවස්ථාවලදී ඥානවන්ත තීරණ ගන්න ඔයාට උදව් කරන්න බයිබලයේ තියෙන තොරතුරුවලට පුළුවන්. ඒ විතරක් නෙමෙයි සමහරවිට උත්තර නැහැ කියලා හිතෙන ප්‍රශ්නවලට උත්තර හොයාගන්නත් බයිබලයේ තියෙන තොරතුරු උදව්වක්. මොනවාද ඒ වගේ ප්‍රශ්න?

 සති අන්තයේ පවත්වන රැස්වීම්වලදී දේශන ඉදිරිපත් කරනවා. ඒ දේශන කීපයක තේමා පහත තියෙනවා

  •   බයිබලයේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් විය යුත්තේ ඇයි?

  •   දුක් කරදර ඇති කාලයේදී උපකාර ලබාගත හැක්කේ කොහෙන්ද?

  •   දේවරාජ්‍යය මගින් දැනටමත් අප ලබන ආශීර්වාද

 “දවසක් අපේ පන්තියේ ළමයෙක් රැස්වීමට ආවා. එයා අපි හිටපු තැනින්ම ඉඳගෙන රැස්වීමට ඇහුම්කන් දුන්නා. අපි ගෙනල්ලා තිබ්බ පොත් පත් අපි එයාටත් දුන්නා. සභාවේ අයවත් හවුල් කරගෙන කරන සාකච්ඡාවලදී කට්ටිය ඉදිරිපත් කරපු අදහස්වලට එයා ගොඩක් කැමති වුණා කියලා එයා මට කිව්වා. එයාලාගේ පල්ලියේ අයට අපිට වගේ අධ්‍යයනය කරන්න උදව් වෙන දේවල් නැහැ කියලත් එයා කිව්වා”බ්‍රෙන්ඩා.

 ඔයා දැනගෙන හිටියාද? රැස්වීම්වලට එන අයගෙන් ඒ සඳහා මුදල් අය කරන්නේ නැහැ.

 හොඳ යාළුවන්ව ඔයාට හම්බ වෙයි. අපි රැස්වීම්වලට යන්න ඕනෙ එක හේතුවක් තමයි ‘එකිනෙකාව දිරිගැන්වීම’ කියලා බයිබලයේ කියනවා. (හෙබ්‍රෙව් 10:24, 25) තමන් ගැන සැලකිලිමත් වෙනවාට වඩා දෙවියන් ගැනයි අනිත් අය ගැනයි සැලකිලිමත් වෙන අයව ඇසුරු කරන්න රැස්වීම්වලට ගියාම ඔයාට පුළුවන් වෙයි. වැඩිපුරම ආත්මාර්ථකාමී අය ඉන්න සමාජයක ඒ වගේ හිතන පතන අයත් එක්ක කාලය ගත කරන එක ඔයාට ලොකු සතුටක් වෙයි.

 “මොකක් හරි දෙයක් නිසා දුකෙන් ඉද්දී නැත්නම් හෙම්බත් වෙලා ඉද්දී රැස්වීමට ගියාම එහෙට ඇවිත් ඉන්න අය මාව සනසනවා. ආපහු මං ගෙදර යන්නේ සතුටින්.”එලීසා.

 ඔයා දැනගෙන හිටියාද? ලෝකෙ පුරාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභා 1,20,000කට වඩා තියෙනවා. එයාලා රැස්වෙන ස්ථාන 60,000කට වඩා තියෙනවා. හැම අවුරුද්දකම සාමාන්‍යයක් විදිහට නමස්කාර මධ්‍යස්ථාන 1,500ක් විතර ගොඩනඟනවා. ඒකට හේතුව රැස්වීම්වලට එන අයගේ ගණන එන්න එන්නම වැඩි වෙන එකයි. a

a රැස්වීම් තියෙන ස්ථානයක් හොයාගන්න “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්” කියන පිටුවට ගිහින් “ඔබට ආසන්න ස්ථානයක් සොයාගන්න” කියන තැන ක්ලික් කරන්න.