ගෞරවය ලැබිය යුතු අයට ගෞරවය දෙමු
“සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තාණන්ටත් බැටළු පැටවාටත් සදහටම ප්‍රශංසාවත් ගෞරවයත් තේජසත් ලැබේවා.”—එළි. 5:13.
ගීතිකා: 9, 108
1. සමහරුන්ට අපි ගෞරව කරන්නේ මොන හේතු නිසාද? මේ ලිපියෙන් බලන්නේ මොනවද?
කෙනෙක්ට ගෞරව කරනවා කියන්නේ එයාව සැහැල්ලුවට ගන්නේ නැහැ කියන එකයි. එයා ගැන සැලකිලිමත් වෙනවා කියන එකයි. සාමාන්‍යයෙන් අපි ඒ වගේ ගෞරවයක් දෙන්නේ අනිත් අයගේ ගෞරවය දිනාගන්න විදිහේ දෙයක් කරපු අයට. නැත්නම් වැදගත් පැවරුමක්, තනතුරක් තියෙන අයට. අපි දැන් බලමු අපි ගෞරව කරන්න ඕනෙ කාටද සහ ඒ ඇයි කියලා.
2, 3. (අ) විශේෂයෙන්ම යෙහෝවා දෙවි ගෞරවය ලබන්න වටින්නේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) එළිදරව් 5:13 කතා කරන බැටළු පැටවා කවුද? අපි ඔහුට ගෞරව කරන්න ඕනෙ ඇයි?
2 එළිදරව් 5:13 සඳහන් වෙනවා “සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තාත්” “බැටළු පැටවාත්” ගෞරවය ලබන්න වටිනවා කියලා. එතන “සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා” කියන්නේ යෙහෝවා දෙවිට. “සදහටම ජීවත් වන තැනැත්තාණන්” වන යෙහෝවා දෙවි ගෞරවය ලබන්න වටින්නේ ඇයි කියලා එළිදරව් 4වෙනි පරිච්ඡේදයේ සඳහන් දේකින් පැහැදිලියි. එතන දේවදූතයන් මෙහෙම කියනවා. “අපගේ බලසම්පන්න දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය. ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත් ඔබේ කැමැත්ත නිසාය.”—එළි. 4:9-11.
3 එළිදරව් 5:13 සඳහන් “බැටළු පැටවා” කවුද? ඒ යේසුස් ක්‍රිස්තුස්. එහෙම කියන්නේ ඇයි? පොළොවේ හිටපු කාලෙදී ඔහුව “ලෝකයෙන් පාපය නැති කර දමන දෙවිගේ බැටළු පැටවා” කියලා හැඳින්නුවා. (යොහ. 1:29) තමන්ගේ යටත්වැසියන්ව පාපයෙන් බේරගන්න වෙන කිසිම රජ කෙනෙක් ජීවිතය පූජා කරලා නැහැ. අපේ ගෞරවය යේසුස්ට දෙන්න ඒකම හේතුවක් නෙමෙයිද? යේසුස් “රජවරුන්ගේ රජ, ස්වාමිවරුන්ගේ ස්වාමීන්” නිසාත් අපේ ගෞරවය ලබන්න වටිනවා. (1 තිමෝ. 6:14-16) බලවත් දේවදූතයන් දහස් ගාණකට හැඟුණ මේ දේම ඔයාටත් හැඟෙනවද? “මරා දමනු ලැබූ බැටළු පැටවා සියලු බලයත් ධනයත් ප්‍රඥාවත් ශක්තියත් ගෞරවයත් ප්‍රශංසාවත් ලැබීමට වටින්නේය.”—එළි. 5:12.
4. යෙහෝවා දෙවිටත් යේසුස්ටත් ගෞරවය දෙන එක ඥානවන්ත දෙයක් වෙන්නේ ඇයි?
4 අපි යෙහෝවා දෙවිටත් යේසුස්ටත් අනිවාර්යයෙන්ම ගෞරව කරන්න ඕනේ. අපිට සදාකාල ජීවනය ලැබෙනවද නැද්ද කියන දේ තීරණය වෙන්නේ ඒ මතයි. යොහන් 5:22, 23 කියන මේ දෙයින් ඒක අපිට පැහැදිලියි. ‘පියාණන් විනිශ්චය කිරීමේ වගකීම පවරා තිබෙන්නේ තම පුත්‍රයාටයි. පියාණන් එසේ කළේ සියලුදෙනා තමාට ගෞරව කරනවා වගේම තම පුත්‍රයාටත් ගෞරව කරනවා දැකීමටයි. ඒ නිසා කෙනෙක් පුත්‍රයාට ගෞරව කරන්නේ නැත්නම් ඒ තැනැත්තා පුත්‍රයාව එවූ පියාණන්ටත් ගෞරව කරන්නේ නැහැ.’—ගීතාවලිය 2:11, 12 කියවන්න.
5. පොදුවේ හැම කෙනෙක්ටම අපි යම් දුරකට ගෞරව කරන්න ඕනෙ ඇයි?
5 “දෙවි මනුෂ්‍යයාව සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුව.” (උත්. 1:27) ඒ කියන්නේ දෙවිට තියෙන සමහර ගතිලක්ෂණ තමන්ගේ ජීවිතවලින් පෙන්නන්න මිනිසුන්ට පුළුවන් කියන එකයි. උදාහරණෙකට හුඟක් අය අනිත් අයට ආදරේ, කරුණාව, දයාව පෙන්නනවා. යෙහෝවා දෙවි මිනිසුන්ට හෘදය සාක්ෂියකුත් දීලා තියෙනවා. හරි වැරැද්ද අතර වෙනස, වංකකම සහ අවංකකම අතර වෙනස, සුදුසු සහ නුසුදුසු දේ අතර වෙනස හඳුනගන්න මිනිසුන්ට පුළුවන් ඒ නිසයි. (රෝම 2:14, 15) සාමාන්‍යයෙන් අපේ හිත ඇදිලා යන්නේ පිරිසිදුවට, ලස්සනට තියෙන දේවලට. ඒ වගේම හුඟදෙනෙක් කැමති අනිත් අය එක්ක සාමයෙන් ඉන්න. ඒ යෙහෝවා දෙවි සමාදානයට කැමති, හැම දේම පිළිවෙළකට කරන දෙවි කෙනෙක් නිසයි. හැම මිනිසෙක්ටම දෙවිගේ ගතිලක්ෂණ යම් දුරකට තමන්ගේ ජීවිතෙන් පෙන්නන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා ඒකෙන් පැහැදිලියි. ඒ නිසා පොදුවේ හැම කෙනෙක්ටම අපි ගෞරව කරන්න ඕනේ.—ගීතා. 8:5.
සැලකිලිමත් වෙන්න ඕනෙ පැති
6, 7. මිනිසුන්ට ගෞරව කරද්දී සාක්ෂිකරුවන් මතක තියාගන්නේ මොකක්ද?
6 හැම කෙනෙක්ටම අපි ගෞරව කරන්න ඕනෙ කියලා අපි දන්නවා. ඒත් ඒ ගෞරවය අපි පෙන්නන්නේ කොයි වගේ විදිවලින්ද, කොයි තරම් දුරකටද කියලා අවබෝධ කරගන්න එක ලේසි නැහැ. මොකද හුඟදෙනෙක් දුෂ්ට සමාජයේ බලපෑමට අහු වෙලයි ඉන්නේ. එයාලා සමහර මිනිසුන් ගැන මහ ඉහළින් හිතලා ඒ අයට තමන්ගේ ජීවිතවල විශේෂ තැනක් දෙනවා. යෙහෝවා දෙවි බලපොරොත්තු වෙන විදිහට පොදුවේ හැම කෙනෙක්ටම ගෞරවයෙන් සලකනවා වෙනුවට එයාලා සමහර ආගමික නායකයන්ට, දේශපාලනඥයන්ට, ක්‍රීඩකයන්ට, නළු නිළියන්ට අනවශ්‍ය ගෞරවයක් ලබා දෙනවා. එයාලව දෙවිවරුන් වගේ සලකනවා. එයාලා අඳින, පළඳින, හැසිරෙන විදිහ අනුකරණය කරනවා.
7 මිනිසුන්ට ගෞරවය දෙද්දී ඒ වගේ අන්තයකට යන එක වැරදියි කියලා දෙවිගේ සේවකයන් තේරුම් අරන් ඉන්නවා. එදා මෙදා තුර ජීවත් වුණ මිනිසුන්ගෙන් අපිට අනුකරණය කරන්න සුදුසු කෙනෙක්ට ඉන්නේ යේසුස් විතරයි. මොකද ඔහුගේ ආදර්ශයේ කිසිම අඩුවක් නැහැ. (1 පේතෘ. 2:21) අපි මිනිසුන්ට අනවශ්‍ය ගෞරවයක් දෙනවා නම් ඒ ගැන යෙහෝවා දෙවි කීයටවත් සතුටු වෙන්නේ නැහැ. අපි කවදාවත් මේ දේ අමතක කරන්න හොඳ නැහැ. “සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත. එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙනවා.” (රෝම 3:23) ඇත්තටම අපේ නමස්කාරය ලබන්න කිසිම මිනිසෙක් වටින්නේ නැහැ.
8, 9. (අ) සාක්ෂිකරුවන් රජයේ නිලධාරීන්ට ගෞරව කරන්නේ කොහොමද? (ආ) අපි නිලධාරීන්ට කීකරු වෙන්නේ නැත්තේ මොන අවස්ථාවේදීද?
8 සමහරු දරන තනතුරු නිසා එයාලා අපේ ගෞරවය ලබන්න සුදුසුයි. උදාහරණෙකට රජයේ නිලධාරීන් ගැන හිතන්න. නීතිය සහ විනය රකින්න එයාලා දරන වෑයම නිසා අපි යම් ආරක්ෂාවක් අද්දකිනවා. ඒ වගේම සමාජය වෙනුවෙන් එයාලා තව හුඟක් සේවාවන් කරනවා. ඒ වගේ අයව “උසස් බලධාරීන්” හැටියට සලකලා එයාලට යටත් වෙන්න කියලා පාවුල් කිව්වා. ‘සියලුදෙනාටම දිය යුතු දේ දෙන්න. බදු දිය යුතු තැනැත්තාට බදු දෙන්න. ගෞරව කළ යුතු තැනැත්තාට ගෞරව කරන්න’ කියලත් එයා කිව්වා.—රෝම 13:1, 7.
9 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට අපි, රජයේ නිලධාරීන්ට ගෞරවයෙන් සලකන්න පුළුවන් හැම දේම කරනවා. සමහරවිට අපි ගෞරවය පෙන්නන විදිහ සංස්කෘතිය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ කොහොමවුණත් නිලධාරීන්ට එයාලගේ රාජකාරිය කරන්න අපි සහය දෙනවා. ඒත් දෙවිට අකීකරු වෙන දෙයක් කරන්න කියලා එයාලා කිව්වොත් අපි ඒක කරන්නේ නැහැ. මොකද අපි මිනිසුන්ට වඩා ගෞරවය දෙන්නේ යෙහෝවා දෙවිට.—1 පේතෘස් 2:13-17 කියවන්න.
10. අතීතයේ හිටපු දෙවිගේ සේවකයන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?
10 රටේ නීතිවලට, නිලධාරීන්ට අතීතයේ හිටපු දෙවිගේ සේවකයන් ගරු කළා. ඒ වගේ දෙන්නෙක් තමයි යෝසෙප් සහ මරියා. රෝමය පාලනය කරපු ප්‍රදේශවල හිටපු හැම කෙනෙක්ම ලියාපදිංචි වෙන්න ඕනෙ කියලා රජයෙන් නියෝග කළා. ඒ වෙද්දී මරියාට දරුවා හම්බ වෙන්න ළං වෙලා තිබුණත් එයාලා ලියාපදිංචි වෙන්න බෙත්ලෙහෙමට ගියා. (ලූක් 2:1-5) පාවුලුත් උසස් නිලධාරීන්ට ගරු කරපු කෙනෙක්. එයා වැරදි දෙයක් කරනවා කියලා මිනිසුන් චෝදනා කළාම තමන්ගේ නිර්දෝෂකම ඔප්පු කරන්න පාවුල් හෙරොද් අග්‍රිපා රජු ඉදිරියෙත් යුදයේ ආණ්ඩුකාරයා වුණ ෆෙස්ටස් ඉදිරියෙත් කතා කළා. ඒ අවස්ථාවලදී එයා ඒ නිලධාරීන්ට ගෞරවය දීලා කතා කළා.—ක්‍රියා 25:1-12; 26:1-3.
11, 12. (අ) ආගමික නායකයන්ට අපි විශේෂ ගෞරවයක් දෙන්නේ නැත්තේ ඇයි? (ආ) ඔස්ට්‍රියාවේ හිටපු සාක්ෂිකරුවෙක් දේශපාලනඥයෙක්ට ගෞරවයෙන් සලකපු නිසා ලැබුණේ මොන වගේ ප්‍රතිඵලද?
11 අපි ආගමික නායකයන්ටත් විශේෂ ගෞරවයක් දෙන්න ඕනෙද? නැහැ. පොදුවේ මිනිසුන්ට අපි ගෞරවයෙන් සලකන විදිහට එයාලටත් සලකනවා මිසක් විශේෂ ගෞරවයක් දෙන්න අවශ්‍ය නැහැ. එයාලා ඒ දේ අපෙන් බලාපොරොත්තු වුණත් ඒ වගේ ගෞරවයක් දෙන එක වැරදියි. ඒ ඇයි? ආගමික නායකයන් දෙවි ගැන උගන්වන්නේ අමූලික බොරු. බයිබලේ තියෙන සත්‍යය ඉගැන්වීම් එයාලා විකෘති කරනවා. යේසුත් එයාගේ කාලේ හිටපු බොරු උගන්වපු ආගමික නායකයන්ව හෙළා දැක්කා. එයාලා කුහකයන්, අන්ධ මඟ පෙන්වන්නන් කියලා කිව්වා. (මතෙ. 23:23, 24) ඒත් රජයේ නිලධාරීන්ට ලැබිය යුතු ගෞරවය දෙන එකේ වරදක් නැහැ. එහෙම කරන එකෙන් හොඳ ප්‍රතිඵල අද්දකින්න පුළුවන්.
12 මේ අද්දැකීම බලන්න. ඔස්ට්‍රියාවේ දේශපාලනඥයෙක් වුණ ආචාර්ය හයින්රික් ග්ලෙයිස්නර්ව 2වෙනි ලෝක යුද්දේ කාලේ නාට්සි හමුදාවෙන් අත්අඩංගුවට ගත්තා. එයාව කෝච්චියකින් ගාල් කඳවුරකට අරගෙන යද්දී ඒකේ හිටපු සහෝදර ලියපොල්ඩ් එංලෙයිට්නර්ව එයාට මුණගැහුණා. එයා උද්යෝගයෙන් සේවය කරපු සහෝදරයෙක්. ඒ සහෝදරයා තමන්ගේ විශ්වාසයන් ගැන දේශපාලනඥයාට පැහැදිලි කරලා දෙද්දී එයාට ගෞරවය දීලා කතා කළා. එයාත් සහෝදරයාට හොඳින් ඇහුම්කන් දුන්නා. යුද්දේ ඉවර වුණාට පස්සේ ඒ දේශපාලනඥයා කීප සැරයක්ම සාක්ෂිකරුවන්ට උදව් කළා. එයාගේ තනතුර නිසා ඒ දේ කරන්න එයාට පහසු වුණා. උසස් නිලධාරීන්ට ගරු කරපු නිසා දෙවිගේ සේවකයන්ට ලැබුණ හොඳ ප්‍රතිඵල ගැන ඔයාත් දන්නවා ඇති.
අනිත් අයට ගෞරව කරන්න
13. විශේෂයෙන්ම අපේ ගෞරවය ලබන්න සුදුසු කවුද? ඒ ඇයි?
13 සහෝදර සහෝදරියන් හැමෝම අපේ ගෞරවය ලබන්න වටිනවා. වැඩිමහල්ලන්, චාරිකා සේවකයන්, ශාඛා කමිටු සාමාජිකයන්, පාලක මණ්ඩලයේ සහෝදරයන් වගේ පෙරමුණ ගන්න සහෝදරයන් විශේෂයෙන්ම අපේ ගෞරවය ලබන්න වටිනවා. (1 තිමෝති 5:17 කියවන්න.) දෙවිගේ සෙනඟව රැකබලා ගන්න එයාලා හුඟක් මහන්සි වෙනවා. බයිබලේ එයාලව හඳුන්වන්නේ ‘තෑගි වශයෙන් දුන්න පුරුෂයන්’ කියලයි. (එෆී. 4:8) ඒ නිසා එයාලගේ ජාතිය, අධ්‍යාපන මට්ටම, සමාජයේ එයාලට ලැබිලා තියෙන පිළිගැනීම, ආර්ථික මට්ටම මොකක් වුණත් අපි එයාලට ගරු කරන්න ඕනේ. අතීතයේ හිටපු දෙවිගේ සේවකයන් පෙරමුණ ගත්ත අයට ගෞරවයෙන් සැලකුවා. අපි කරන්න ඕනෙත් ඒ දේමයි. ඒකෙන් අදහස් කරන්නේ ඒ වගේ පෙරමුණ ගන්න සහෝදරයන්ට අපි මහ ඉහළින් සලකන්න ඕනෙ කියලා නෙමෙයි. ඒ වගේම එයාලා අපිත් එක්ක ඉද්දී හරියට දේවදූතයෙක් අපි අතරේ ඉන්නවා කියන හැඟීමෙන් වැඩ කරන්න ඕනෙත් නැහැ. අපි අගය කරන්න ඕනෙ එයාලා නිහතමානීව, වෙහෙස නොබලා අපි වෙනුවෙන් කරන සේවයයි.—2 කොරින්ති 1:24; එළිදරව් 19:10 කියවන්න.
14, 15. වැඩිමහල්ලන් ආගමික නායකයන්ට වඩා වෙනස් වෙන්නේ කොහොමද?
14 වැඩිමහල්ලන් හරියට නිහතමානී එඬේරුන් වගේ. අපි එයාලව ජනප්‍රිය තරු හැටියට සලකයි කියලා එයාලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම බලද්දී එයාලා අද ඉන්න ආගමික නායකයන්ටත් යේසුස්ගේ කාලේ හිටපු ආගමික නායකයන්ටත් වඩා හුඟක් වෙනස්. ඒ ආගමික නායකයන් ගැන යේසුස් කිව්වේ මෙහෙමයි. ‘සන්ධ්‍යා භෝජනවලදී ප්‍රධානතම ස්ථානයටත් සිනගෝගවලදී ඉදිරි ආසනවල අසුන්ගන්නත් ඔවුන් කැමතියි. වෙළඳපොළවලදී ඔවුන්ව ගෞරවයෙන් පිළිගන්නවාටත් ඔවුන් කැමතියි.’—මතෙ. 23:6, 7.
15 වැඩිමහල්ලන් උත්සාහ කරන්නේ යේසුස් කිව්ව මේ දේට කීකරු වෙන්නයි. “අන් අය ඔබට රබ්බි කියා ඇමතිය යුතුයි කියා නොසිතන්න. මන්ද ඔබට සිටින්නේ එකම ගුරුවරයෙක්. ඔබ සියලුදෙනාම සහෝදරයෝයි. පොළොවෙහි සිටින කාටවත් ‘පියාණන්’ කියා නොකියන්න. මන්ද ඔබට සිටින්නේ එකම පියෙක්. ඒ ස්වර්ගයෙහි සිටින තැනැත්තායි. ඔබ අතරේ සිටින කිසිම කෙනෙකුට ‘නායකයා’ කියා නොකියන්න. මන්ද ඔබට සිටින්නේ එකම නායකයෙක්. ඒ ක්‍රිස්තුස්. ඔබ අතරේ සිටින උතුම්ම තැනැත්තා ඔබේ සේවකයා විය යුතුයි. උසස් වෙන්න උත්සාහ කරන කෙනෙකුව පහත් කරනු ලබයි. නමුත් නිහතමානීව සේවය කරන කෙනෙකුව උසස් කරනු ලබයි.” (මතෙ. 23:8-12) වැඩිමහල්ලන් නිහතමානීව යේසුස් දුන්න ඒ උපදෙසට කීකරු වෙද්දී සහෝදර සහෝදරියන්ගේ ආදරේ, ගෞරවය දිනාගන්න පුළුවන්.
16. අනිත් අයට ගෞරව කරන්න අපි දිගටම වෑයමක් දරන්න ඕනෙ ඇයි?
16 අපි ගෞරවයෙන් සලකන්න ඕනෙ කාටද, ඒක කරන්න ඕනෙ කොයි තරම් දුරකටද කියන කාරණය තේරුම්ගන්න අපිට යම් කාලයක් ගත වෙන්න පුළුවන්. මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ටත් ඒ අභියෝගය තිබුණා. (ක්‍රියා 10:22-26; 3 යොහ. 9, 10) ඒත් දෙවි බලාපොරොත්තු වෙන විදිහට අනිත් අයට ගරු කරන්න අපි දිගටම උත්සාහ කරන්න ඕනේ. අපේ ඒ උත්සාහයට ආශීර්වාද ලැබෙනවා.
අනිත් අයට ගරු කරද්දී ලැබෙන ආශීර්වාද
17. රජයේ නිලධාරීන්ට ගරු කරද්දී ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනද?
17 රජයේ නිලධාරීන්ට අපි ගරු කරද්දී දේශනා කරන්න අපිට තියෙන අයිතිය රැකගන්න එයාලා අපිට සහය දෙන්න තියෙන ඉඩකඩ වැඩියි. අපි කරන සේවය ගැන හොඳ හැඟීමක් ඇති කරන්නත් ඒක උදව්වක්. මේ අද්දැකීම බලන්න. ජර්මනියේ පුරෝගාමි සේවය කරන සහෝදරියක් වන බිර්ගෙට් අවුරුදු කීපයකට කලින් එයාගේ දුවගේ ඉස්කෝලේ තිබුණ උත්සවයකට සහභාගි වුණා. එතනදී හම්බ වුණ ගුරුවරු සහෝදරියට කිව්වා සාක්ෂිකරුවන්ගේ දරුවන් ඉස්කෝලේ වැඩවලට සහය දෙන නිසා එයාලා ඉස්කෝලේ ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද කියලා. ඒ වෙලාවේ සහෝදරිය එයාලට කිව්වා “දෙවි බලාපොරොත්තු වෙන විදිහට හැසිරෙන්න අපේ දරුවන් ඉගෙනගන්නවා. ගුරුවරුන්ට ගෞරවයෙන් සලකන එකත් ඒකට ඇතුළත්” කියලා. හැම ළමයෙක්ම සාක්ෂිකරුවන් වගේ වැඩ කරනවා නම් උගන්වන එක ලේසියි කියලා එක ගුරුවරයෙක් කිව්වා. සාක්ෂිකරුවන්ගේ දරුවන් ගැන එයාලට කොච්චර හොඳ හැඟීමක් තිබුණද කියනවා නම් සති කීපයකට පස්සේ ගුරුවරයෙක් සමුළුවකටත් ආවා.
18, 19. වැඩිමහල්ලන්ට ගෞරව කරද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?
18 වැඩිමහල්ලන්ට ගෞරව කරන්නේ කොහොමද කියන දේ තේරුම්ගන්න දේවවචනයේ තියෙන ප්‍රතිපත්ති අපිට උදව් වෙනවා. (හෙබ්‍රෙව් 13:7, 17 කියවන්න.) වැඩිමහල්ලන් වෙහෙස මහන්සි වෙලා කරන සේවය අගය කරන්න අපිට පුළුවන්. ඇත්තටම අපි ඒ සේවය අගය කරන්න ඕනේ. එයාලා දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න ඕනේ. එතකොට එයාලගේ සේවය සතුටින් කරන්න එයාලට පුළුවන්. එයාලගේ විශ්වාසය ආදර්ශයට ගන්න කියලත් බයිබලේ අපිට උනන්දු කරනවා. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ සහෝදරයන් අතරේ ප්‍රසිද්ධ වැඩිමහල්ලෙක් අඳින විදිහ, දේශන දෙන විදිහ, කතා කරන විදිහ අනුකරණය කරන්න ඕනෙ කියලා. අපි එහෙම කරනවා නම් අපි අනුගමනය කරන්නේ යේසුස්ව නෙමෙයි මිනිසුන්ව. අපි වගේම වැඩිමහල්ලනුත් පාපය උරුම කරගත්ත අය කියලා අපි අමතක කරන්න හොඳ නැහැ.
19 වැඩිමහල්ලන්ව ජනප්‍රිය තරු විදිහට සලකනවා වෙනුවට ලැබිය යුතු ගෞරවය එයාලට දෙමු. ඒක අපි එයාලට කරන උදව්වක්. එහෙම කියන්නේ ඇයි? දිගටම නිහතමානීව ඉන්නත් අනිත් අයට වඩා තමන් උසස් කියලා හිතන්නේ නැතුව ඉන්නත් එතකොට එයාලට පහසුයි. හැම වෙලේම තමන් කරන දේ හරි කියලා හිතන්නේ නැතුව ඉන්නත් ඒක එයාලට උදව්වක්.
20. අනිත් අයට ගරු කරන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද?
20 ගෞරවය ලබන්න සුදුසු අයට අපි ගරු කරනවා නම් අපි ගැන මහ ඉහළින් හිතන්න අපි පෙලඹෙන්නේ නැහැ. විශේෂයෙන්ම කවුරු හරි අපිට අනවශ්‍ය ගෞරවයක් දෙද්දී ඒක අපිට උදව්වක්. දෙවිගේ සංවිධානය කිසිම මිනිසෙක්ට ඒ කියන්නේ දෙවිට සේවය කරන කෙනෙක්ට වුණත් නැති කෙනෙක්ට වුණත් අනවශ්‍ය ගෞරවයක් දෙන්නේ නැහැ. අපිත් ඒ දේම කරනවා නම් අපි කරන්නේ සංවිධානයට සහය දෙන එකයි. හිතන්න, අපි කෙනෙක්ට අනවශ්‍ය ගෞරවයක් දෙනවා කියලා. හැබැයි එයා අතින් අපි හිතපු නැති විදිහේ දෙයක් වෙනවා. එතකොට අපිත් අධෛර්යය වෙයි. ඒත් කාටවත් අනවශ්‍ය ගෞරවයක් දෙන්නේ නැත්නම් ඒ උගුලෙන් පරෙස්සම් වෙන්න අපිට පුළුවන්.
21. අනිත් අයට ගරු කරන එකෙන් අපිට කරන්න පුළුවන් වෙන වටිනාම දේ මොකක්ද?
21 අපි අනිත් අයට ගරු කරද්දී යෙහෝවා දෙවි අපි ගැන සතුටු වෙනවා. ඒක තමයි අපිට කරන්න පුළුවන් වෙන වටිනාම දේ. අපි කරන්නේ දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේ නිසා දිගටම අපේ ළැදිකම දෙවිට පෙන්නන්න අපිට පුළුවන්. කිසිම කෙනෙක් දෙවිට ළැදිව ඉන්නේ නැහැ කියලා සාතන් කරපු චෝදනාවට උත්තර දෙන්න එතකොට දෙවිට පුළුවන් වෙයි. (හිතෝ. 27:11) අනිත් අයට ගෞරව කරන්නේ කොහොමද, ඒක කරන්නේ කොච්චර දුරකටද කියලා හුඟදෙනෙක් දන්නේ නැහැ. ඒත් අනිත් අයට ගෞරව කරන්න ඕනෙ විදිහ දෙවි අපිට කියලා දෙනවා. ඒ ගැන අපිට තියෙන්නේ ලොකු අගයක්.