ආදරේ අඩු වෙන්න ඉඩ දෙන්න එපා
“අධර්මිෂ්ඨ ක්‍රියා වැඩි වන නිසා වැඩිදෙනාගේ ප්‍රේමය හීන වී යයි.”—මතෙ. 24:12.
1, 2. (අ) මතෙව් 24:12 යේසුස් කියපු දේ මුලින්ම අදාළ වුණේ කාටද? (ආ) එදා හිටපු ක්‍රිස්තියානීන් අතරේ ආදරය තිබුණා කියලා ක්‍රියා පොතේ වාර්තාවෙන් පැහැදිලි වෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
“අවසාන කාල පරිච්ඡේදය” ගැන කතා කරද්දී “වැඩිදෙනාගේ ප්‍රේමය හීන වී යනවා” කියලා යේසුස් කිව්වා. (මතෙ. 24:3, 12) මුල් සියවසේ හිටපු යුදෙව්වන් තමන් දෙවිගේ සෙනඟ කියලා කියාගත්තත් දෙවි ගැන එයාලට තිබුණ ආදරේ එන්න එන්නම අඩු වුණා. යේසුස් කියපු දේ ඇත්තක් කියලා ඒකෙන් පැහැදිලි වුණා.
2 ඒ වුණත් එදා හිටපු ක්‍රිස්තියානීන් හුඟදෙනෙක් යුදෙව්වන්ට වඩා වෙනස්. එයාලා “ශුභාරංචිය” උද්යෝගයෙන් දේශනා කළා. දෙවිට හුඟක් ආදරේ කළා. දෙවිගේ අනිත් සේවකයන්ට විතරක් නෙමෙයි දෙවි ගැන නොදන්න අයටත් ලොකු සෙනෙහසක් පෙන්නුවා. (ක්‍රියා 2:44-47; 5:42) ඒත් සමහරුන්ට දෙවි ගැන තිබුණ ආදරේ ටිකෙන් ටික අඩු වෙලා ගියා. ඇයි අපි එහෙම කියන්නේ?
3. සමහරුන්ගේ ආදරේ අඩු වෙන්න ඇත්තේ ඇයි?
3 එෆීසයේ හිටපු ක්‍රිස්තියානීන්ට යේසුස් මෙහෙම කිව්වා. “ඔබ තුළ මුලින් තිබුණු ප්‍රේමය දැන් නැති වී ගොස් ඇත.” (එළි. 2:4) එහෙම වුණේ ඇයි? එයාලා තමන්ගේ ආසාවන් ඉටු කරගන්න එක ගැන විතරක් හිතපු මිනිසුන්ගේ බලපෑමට අහු වුණ නිසා වෙන්න පුළුවන්. (එෆී. 2:2, 3) එෆීසය හරිම ධනවත් නගරයක්. එහේ හිටපු අය ජීවිතේ මුල් තැන දුන්නේ සැප පහසු ජීවිත ගත කරන්න. හුඟදෙනෙක් ගත කළේ අනාචාර ජීවිත. එයාලාදෙවිගේ නීති තුට්ටුවකටවත් මායිම් කළේ නැහැ. දෙවිටත් අනිත් අයටත් ආදරේ කරනවා වෙනුවට එයාලා හිතුවේ තමන්ගේ සතුට ගැන විතරයි.
4. (අ) අද ඉන්න අයගේ ආදරේ අඩු වෙලා තියෙන්නේ කොහොමද? (ආ) නොසැලෙන ආදරයක් පෙන්නන්න නම් අපි කරන්න ඕන දේවල් 3 මොනවද?
4 ආදරේ අඩු වෙන එක ගැන එදා යේසුස් කියපු දේ අදටත් අදාළයි. අද ඉන්න මිනිසුන්ට දෙවි ගැන ආදරයක් නැති තරම්. ප්‍රශ්න විසඳගන්න දෙවිගේ මඟ පෙන්වීම් පතනවා වෙනුවට හුඟක් අය මඟ පෙන්වීම් පතන්නේ එක එක සංවිධානවලින්. ඒකෙන් පේන්නේ දෙවි ගැන එයාලට තියෙන ආදරේ නැති වේගන යනවා කියන එකයි. එෆීසයේ හිටපු සමහරුන්ට වුණා වගේ අපිටත් දෙවි ගැන තියෙන ආදරේ අඩු වෙන්න පුළුවන්. එහෙම නොවෙන්න නම් අපේ ආදරේ, ඇල්ම වැඩි කරගන්න ඕනෙ පැති 3ක් ගැන දැන් බලමු. (1) දෙවිට තියෙන ආදරය, (2) බයිබලයේ ඉගැන්වීම්වලට තියෙන ඇල්ම, (3) සහෝදරයන්ට තියෙන සෙනෙහස.
දෙවිට තියෙන ආදරය
5. අපි දෙවිට ආදරේ කරන්න ඕනෙ ඇයි?
5 අපි වැඩියෙන්ම ආදරේ කරන්න ඕනෙ කාටද? යේසුස් මෙහෙම කිව්වා. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’ උතුම්ම සහ පළමුවෙනි ආඥාව එයයි.” (මතෙ. 22:37, 38) දෙවි ගැන අපිට ලොකු ආදරයක් තියෙනවා නම් ඒක අපිට උදව් වෙනවා ඔහු දීලා තියෙන ආඥාවලට කීකරු වෙන්න, විඳදරාගන්න, දෙවි පිළිකුල් කරන දේවල් පිළිකුල් කරන්න. (ගීතාවලිය 97:10 කියවන්න.) ඒත් සාතන් සහ මේ සමාජය උත්සාහ කරන්නේ ඒ ආදරය නැති කරලා දාන්න.
6. දෙවිට තියෙන ආදරේ නැති වුණොත් මොනවා වෙයිද?
6 දෙවිට ආදරේ කරනවා වෙනුවට අද ඉන්න හුඟදෙනෙක් හිතන්නේ “තමන් ගැන.” (2 තිමෝ. 3:2) ‘තම ඉඳුරන් පිනවගන්න, දකින දකින දේ ලබාගන්න, තමන් සතු දේවල් ප්‍රදර්ශනය කරන්න’ එයාලා ජීවිතේ මුල් තැන දෙනවා. (1 යොහ. 2:16) ඒත් තමන්වම සතුටු කරගන්න එක ගැන විතරක් හිතන කෙනෙක් ඉන්නේ මොන වගේ අනතුරකද කියලා පාවුල් පැහැදිලි කළා. එයා කිව්වේ “කෙනෙක් තම මනස වැරදි ආශාවන්ට යොමු කළොත් එය ඔහුගේ මරණයට මඟ පාදයි” කියලා. මොකද ඇත්තටම ඒ වගේ කෙනෙක් දෙවිගේ සතුරෙක් වෙනවා. (රෝම 8:6, 7) සල්ලි හම්බ කරන්නයි, ලිංගික ආශාවන් ඉටු කරගන්නයි ජීවිතේ මුල් තැන දෙන අයට ඉතුරු වෙන්නේ දුකයි, කලකිරීමයි විතරයි.—1 කොරි. 6:18; 1 තිමෝ. 6:9, 10.
7. දෙවිගේ සේවකයන්ට අනතුරක් වෙන්න පුළුවන් මොන වගේ අදහස්ද?
7 දෙවිව විශ්වාස නොකරන අයත් දෙවිගේ පැවැත්ම සැක කරන අයත් පරිණාමවාදීනුත් කියන්නේ නිර්මාණකරුවෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ මෝඩ, නූගත් අය කියලයි. එයාලා හදන්නේ දෙවිට ආදරේ කරන එකෙන් පලක් නැහැ කියන අදහස හිත්වලට දාන්න. ඒ විතරක් නෙමෙයි හුඟදෙනෙක් නිර්මාතෘට දෙන්න ඕනෙ ගෞරවය දෙන්නේ විද්‍යාඥයන්ට. (රෝම 1:25) සමහරවිට අපිටත් හොරා ඒ වගේ අදහස් අපේ හිත්වලටත් ඇතුල් වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් අපි දෙවිගෙන් ඈත් වෙයි. ඔහුගැන අපිට තියෙන ආදරේ ටිකෙන් ටික නැති වෙලා යයි.—හෙබ්‍රෙ. 3:12.
8. (අ) අපි අධෛර්යය වෙන්න පුළුවන් මොන වගේ දේවල් නිසාද? (ආ) ගීතාවලිය 136 සඳහන් දේ අපිට සහනයක් වෙන්නේ කොහොමද?
8 අපි ජීවත් වෙන මේ දුෂ්ට සමාජයේ අධෛර්යයට හේතු වෙන හුඟක් දේවල් වෙනවා. (1 යොහ. 5:19) ඒත් ඒ දේවලින් අපි යටපත් වුණොත් දෙවි ගැන අපිට තියෙන විශ්වාසය දුර්වල වෙලා ඔහු ගැන අපිට තියෙන ආදරේ නැති වෙන්න පුළුවන්. උදාහරණෙකට මහලු වයස, අසනීප, ආර්ථික ප්‍රශ්න නිසා අපිට හුඟක් අභියෝගවලට මුහුණ දෙන්න වෙයි. සමහරවිට අපි ආසාවෙන් හිටපු දෙයක් කැමති විදිහට කරගන්න බැරි වෙද්දී, බලාපොරොත්තු ඉටු නොවෙද්දී අපිට දුකක් දැනෙන්න පුළුවන්. ඒත් ඒ මොන අභියෝගය ආවත් අපි දුක් විඳින්නේ යෙහෝවා දෙවි අපිව අත්හැරපු නිසයි කියලා කවදාවත් හිතන්න හොඳ නැහැ. අන්ත අසරණ වෙලා හිටපු වෙලාවක දෙවි ගැන ගීතිකාකරු කිව්වේ “ඔහු අපව අමතක නොකළේය. ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය” කියලයි. (ගීතා. 136:23) දෙවි අපේ ‘අයැදීමට කන් දීලා’ අපිට උදව් කරනවා කියන එක ගැන අපිට කිසිම සැකයක් නැහැ.—ගීතා. 116:1; 136:24-26.
9. දෙවිට තියෙන ආදරේ තව වැඩි කරගන්න පාවුල්ට උදව් වුණේ මොකක්ද?
9 දෙවි විවිධ අවස්ථාවලදී තමන්ට උදව් කරපු විදි ගැන පාවුල් නිතරම හිතුවා. නොසැලී ඉන්න ඒක එයාට උදව් වුණා. “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි. මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද” කියලා එයා කිව්වේ ඒ නිසයි. (හෙබ්‍රෙ. 13:6) අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න පාවුල්ට උදව් වුණේ දෙවි ගැන එයාට තිබුණ විශ්වාසයයි. කටුක දේවල් අද්දකිද්දී එයා කවදාවත් ඒ විශ්වාසය අඩු කරගත්තේ නැහැ. හිරේ ඉද්දීත් එයා ලිපි මාර්ගයෙන් සහෝදරයන්ව දිරිගැන්නුවා. (එෆී. 4:1; ෆිලි. 1:17; ෆිලෙ. 1) මොන අභියෝග ආවත් පාවුල් දිගටම දෙවිට ආදරේ කළා. ‘සියලු පීඩාවලදී අපව සනසන සියලු සැනසිල්ලේ දෙවි වන යෙහෝවාව’ විශ්වාස කරලා එයා වැඩ කළා. (2 කොරි. 1:3, 4) පාවුල්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?
10. දෙවිට තියෙන ආදරේ වැඩි කරගන්න අපිට පුළුවන් කොහොමද?
10 “නොකඩවාම යාච්ඤා කරන්න” කියලා පාවුල් උනන්දු කළා. (රෝම 12:12; 1 තෙස. 5:17) දෙවිට තියෙන ආදරේ වැඩි කරගන්න අපිට උදව් වෙන එක දෙයක් තමයි යාච්ඤාව. අපේ හිතේ තියෙන හැම දේම දෙවිට කියන තරමට ඔහු එක්ක අපිට තියෙන බැඳීම ශක්තිමත් වෙනවා. (ගීතා. 86:3; ගීතා. 65:2) අපේ යාච්ඤා අහලා දෙවි අපිට උදව් කරන විදිහ අපි අද්දකිද්දී ඔහු ගැන අපේ හිතේ තියෙන ආදරේ තව තවත් වැඩි වෙයි. “යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටිනවා” කියලා අපිට නිසැකයි. (ගීතා. 145:18) දෙවි අපිට ආදරෙයි කියලා, ඔහු අපිට උදව් කරනවා කියලා අපි විශ්වාස කරනවා නම් දැනුත් ඉස්සරහටත් එන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න අපිට පුළුවන්.
බයිබලයේ ඉගැන්වීම්වලට තියෙන ඇල්ම
11, 12. බයිබලයේ ඉගැන්වීම්වලට තියෙන ඇල්ම වැඩි කරගන්න අපිට පුළුවන් කොහොමද?
11 දෙවිගේ සේවකයන් විදිහට සත්‍ය ඉගැන්වීම් ගැන අපිට තියෙන්නේ ලොකු ඇල්මක්, ආසාවක්. ඒ ඉගැන්වීම් අපිට හොයාගන්න පුළුවන් බයිබලෙන් විතරයි. යේසුස් යෙහෝවා දෙවිට කිව්වේ “ඔබ පවසන දේ සත්‍යය” කියලයි. (යොහ. 17:17) බයිබලේ තියෙන ඉගැන්වීම් ගැන ඇල්මක් ඇති කරගන්න නම් අපි ඒවා ගැන නිවැරදි දැනුමක් ලබාගන්න ඕනේ. (කොලො. 1:10) ඒ විතරක් මදි. අපි කරන්න ඕනෙ මොනවද කියලා තේරුම්ගන්න 119වෙනි ගීතිකාව අපිට උදව් වෙනවා. (ගීතාවලිය 119:97-100 කියවන්න.) බයිබලෙන් කියවන දේවල් ගැන දවස පුරාම අපි හොඳට කල්පනා කරන්න ඕනේ. ඒකේ තියෙන මඟ පෙන්වීම් ජීවිතේට අදාළ කරගන්න පුළුවන් විදි ගැන හිතද්දී බයිබලේ තියෙන ඉගැන්වීම් ගැන අපිට තියෙන ආසාව තවත් වැඩි වෙයි.
12 ‘ඔබේ වදන් මාගේ දිවට කොතරම් මිහිරිද! ඒවා මීපැණිවලටත් වඩා මිහිරිය’ කියලා ගීතිකාකරු කිව්වා. (ගීතා. 119:103) අපේ ප්‍රකාශන හරියට රසවත් කෑම වගේ. අපි ආස කෑමක් හම්බ වුණාම අපි ඒක නිකම්ම ගිලලා දාන්නේ නැහැ, ඒක රස විඳිනවා. ඒ වගේ අපේ ප්‍රකාශන අධ්‍යයනය කරද්දීත් අපි කාලේ අරන් හොඳට හිතන්න ඕනේ. එතකොට බයිබලේ තියෙන “ප්‍රිය වදන්වලින්” සතුටක් ලබන්නත් තොරතුරු මතක තියාගන්නත් ඒවා පාවිච්චි කරලා අනිත් අයට උදව් කරන්නත් අපිට පුළුවන්.—දේශ. 12:10.
13. දේවවචනයේ තියෙන දේවලට ඇල්මක් ඇති කරගන්න යෙරෙමියාට උදව් වුණේ මොනවද? ඒක එයාට උදව් වුණේ මොකක් තේරුම්ගන්නද?
13 යෙරෙමියා දේවවචනයේ තිබුණ දේවලට හුඟක් ආස කරපු කෙනෙක්. එයා මෙහෙම කිව්වා. “ඔබේ වදන් මට අසන්න ලැබුණු විට මම එය හොඳින් සිතට ගත්තෙමි. ඉන් මම ඉමහත් සතුටක් ලැබුවෙමි. මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි, මම ඔබේ නාමය දරමි.” (යෙරෙ. 15:16) දේවවචනයේ තියෙන වටිනා තොරතුරු ගැන යෙරෙමියා ගැඹුරින් කල්පනා කළා. යෙහෝවා දෙවිව නියෝජනය කරන්නත් ඔහුගේ පණිවිඩය ගැන දැනුම් දෙන්නත් ලැබුණ එක වටිනා වරප්‍රසාදයක් කියලා ඒ නිසා එයා තේරුම්ගත්තා. අපිටත් බයිබලේ තියෙන දේවල් ගැන ලොකු ඇල්මක් තියෙනවා නම් යෙහෝවා දෙවිව නියෝජනය කරන්න ලැබුණ එකත් දේවරාජ්‍යය ගැන සාක්ෂි දරන්න ලැබුණ එකත් මොන තරම් වටින වරප්‍රසාදයක්ද කියලා අපි තේරුම්ගන්නවා.
14. බයිබලේ සඳහන් දේවල් ගැන තියෙන ඇල්ම වැඩි කරගන්න අපිට කරන්න පුළුවන් තවත් දේවල් මොනවද?
14 බයිබලේ සඳහන් දේවල් ගැන තියෙන ඇල්ම වැඩි කරගන්න නිතිපතා රැස්වීම්වලට සහභාගි වෙන එක අපිට උදව්වක්. හැම සතියකම අපි ‘මුරටැඹ’ පාඩමෙන් බයිබලේ තියෙන දේවල් ගැන ඉගෙනගන්නවා. ඒක යෙහෝවා දෙවි අපිට උගන්වන ප්‍රධාන විදිහක්. ඒ පාඩමෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් අපි කලින්ම සූදානම් වෙන්න ඕනේ. උදාහරණෙකට අපිට පුළුවන් සාකච්ඡා කරන ලිපියේ තියෙන හැම බයිබල් පදයක්ම කියවන්න. අද හුඟදෙනෙක්ට ‘මුරටැඹ’ සඟරාව ඔන්ලයින් කියවන්න නැත්නම් ඩවුන්ලෝඩ් කරන්න හැකියාව තියෙනවා. මොකද jw.org වෙබ් අඩවිය සහ ‘JW ලයිබ්‍රරි’ ඇප් එක හරහා හුඟක් භාෂාවලින් ‘මුරටැඹ’ සඟරාව ලබාගන්න පුළුවන්. සමහර ෆෝමැට් අපිට උදව් වෙනවා බයිබල් පද ඉක්මනින්ම බලන්න. සූදානම් වෙන්න අපි ඒ මොන ක්‍රමය පාවිච්චි කළත් ලිපියේ තියෙන හැම බයිබල් පදයක්ම කියවමු. ඒවා ගැන හොඳට හිතමු. එහෙම කරද්දී බයිබලේ තියෙන ඉගැන්වීම් ගැන අපිට තියෙන ආසාව තවත් වැඩි වෙයි.—ගීතාවලිය 1:2 කියවන්න.
සහෝදරයන්ට තියෙන සෙනෙහස
15, 16. (අ) යොහන් 13:34, 35 යේසුස් දුන්න ආඥාව මොකක්ද? (ආ) කෙනෙක් දෙවිට ආදරෙයි නම් බයිබලේ සඳහන් ඉගැන්වීම් ගැන එයාට ඇල්මක් තියෙනවා නම් එයා සහෝදරයන්ටත් ආදරෙයි කියලා කියන්නේ ඇයි?
15 යේසුස් ඔහුගේ නියෝජිතයන්ට මෙහෙම කිව්වා. “මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.”—යොහ. 13:34, 35.
16 අපිට සහෝදරයන් ගැන සෙනෙහසක් තියෙනවා නම් අපිට දෙවි ගැනත් ආදරයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. යොහන් කිව්වේ “කෙනෙකුට තමා දකින සහෝදරයාට ප්‍රේම කළ නොහැකි නම් තමා නොදකින දෙවිට ප්‍රේම කරන්න ඔහුට කිසි ලෙසකින්වත් නුපුළුවන” කියලයි. (1 යොහ. 4:20) දෙවිටයි, සහෝදරයන්ටයි අපි ආදරෙයි නම් බයිබලේ සඳහන් ඉගැන්වීම් ගැන අපේ හිතේ ලොකු ඇල්මක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද දෙවිටත් සහෝදරයන්ටත් ආදරේ කරන්න කියලා බයිබලේ දීලා තියෙන ආඥාවට කීකරු වෙන්න අපි පෙලඹෙන්නේ බයිබලේ සඳහන් දේවල් ගැන අපිට ලොකු ඇල්මක් තියෙනවා නම් විතරයි.—1 පේතෘ. 1:22; 1 යොහ. 4:21.
17. සහෝදරයන්ට තියෙන සෙනෙහස පෙන්නන්න පුළුවන් මොන වගේ විදිවලින්ද?
17 1 තෙසලෝනික 4:9, 10 කියවන්න. විවිධ විදිවලින් අපේ සහෝදරයන්ට උදව් කරන්න අපිට පුළුවන්. මහලු සහෝදර සහෝදරියන්ට රැස්වීම්වලට යන්න එන්න උදව් ඕනෙ වෙයි. වැන්දඹු සහෝදරියකට තමන්ගේ ගෙදර පොඩි පොඩි නඩත්තු වැඩ කරගන්න උදව් ඕනෙ වෙයි. ඒ වගේ අයට උදව් කරන්න ඔයාට පුළුවන්ද? (යාකො. 1:27) ජීවිතේ මුහුණ දෙන කටුක දේවල් නිසා මානසිකව වැටිලා ඉන්න අයට අපි සහනයක් වෙන්න ඕනේ. එයාලව දිරිගන්වන්න ඕනේ. (හිතෝ. 12:25; කොලො. 4:11) “අප හා සමාන විශ්වාසයක්” තියෙන අපේ සහෝදරයන් වෙනුවෙන් යහපත් දේවල් කරද්දී අපි පෙන්නන්නේ අපේ හිතේ එයාලා ගැන කොච්චර සෙනෙහසක් තියෙනවද කියලයි.—ගලා. 6:10.
18. සහෝදරයන් එක්ක ඇති වෙන ප්‍රශ්න විසඳගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?
18 පාපය උරුම වුණ අය නිසා අපිට සහෝදරයන් එක්ක පුංචි පුංචි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒත් අපිට එයාලා ගැන තියෙන සෙනෙහස නිසා අපිට පුළුවන් ඉක්මනටම ඒ ප්‍රශ්න විසඳගන්න. (එෆී. 4:32; කොලො. 3:14) “අවසාන කාලයේ” ඉන්න හුඟදෙනෙක් හිතන්නේ තමන් ගැන විතරයි. මොන දේ කරලා හරි තමන්ට දේවල් ලබාගන්නයි එයාලා උත්සාහ කරන්නේ. (2 තිමෝ. 3:1, 2) ඒත් අපි අපේ හිතේ තියෙන ආදරේ දශමයක්වත් අඩු වෙන්න ඉඩ නොදී ඉමු. ඒ වෙනුවට තව වැඩියෙන් දෙවිට ආදරේ කරමු. බයිබලේ තියෙන දේවල් ගැන ඇල්මක් ඇති කරගමු. අපේ සහෝදරයන්ට ගැඹුරු සෙනෙහසක් පෙන්නමු.