“යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න” ඕනෙ ඇයි?
‘යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න. ඔහුට ගී ගැයීම කොතරම් ප්‍රීතියක්ද! ඔහු ඇත්තෙන්ම ප්‍රශංසාව ලැබීමට වටින්නේය.’—ගීතා. 147:1.
1-3. (අ) ගීතාවලිය 147 ලියන්න ඇත්තේ කොයි කාලෙදීද? (ආ) ගීතාවලිය 147 අධ්‍යයනය කරන එකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
කෙනෙක් සිත්ගන්න විදිහට දෙයක් කළාම සාමාන්‍යයෙන් අපි එයාට ප්‍රශංසා කරනවා. එහෙමනම් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න අපිට මොන තරම් හේතු තියෙනවාද! දෙවිගේ නිර්මාණ දිහා බලද්දී ඔහුට තියෙන බලය කොයි තරම්ද කියලා පැහැදිලි වෙනවා. ඔහුගේ එකම පුතාගේ ජීවිතේ අපි වෙනුවෙන් දුන්න එකෙන් දෙවිට අපි ගැන තියෙන ආදරේ මොන තරම්ද කියලා පැහැදිලි වෙනවා.
2 147වෙනි ගීතිකාවේ ලේඛකයාට යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න තිබුණේ ලොකු ආසාවක්. එයාත් එක්ක දෙවිට ප්‍රශංසා කරන්න කියලා එයා අනිත් අයටත් ආරාධනා කළා.—ගීතාවලිය 147:1, 7, 12 කියවන්න.
3 147වෙනි ගීතිකාවේ ලේඛකයා කවුද කියලා අපි දන්නේ නැහැ. ඒත් එයා ජීවත් වෙන්න ඇත්තේ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව බැබිලෝනියෙන් නිදහස් කරලා යෙරුසලමට අරගෙන ආවාට පස්සේ කියලා හිතන්න පුළුවන්. (ගීතා. 147:2) දෙවිගේ සෙනඟට තමන්ගේ දේශයේදී ආයෙත් දෙවිට නමස්කාර කරන්න ලැබුණ නිසා එයා දෙවිට ප්‍රශංසා කළා. ඊටපස්සේ දෙවිට ප්‍රශංසා කරන්න තියෙන තවත් හේතු එයා සඳහන් කළා. ඒ මොනවාද? “යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න” ඔයාට තියෙන හේතු මොනවාද?—ගීතා. 147:1.
යෙහෝවා දෙවි බිඳුණු හදවත් සනසයි
4. සයිරස් රජ ඊශ්‍රායෙල් සෙනඟව නිදහස් කළාම එයාලට කොහොම හැඟෙන්න ඇද්ද? ඒ ඇයි?
4 බැබිලෝනියේ වහලුන් වෙලා ඉද්දී ඊශ්‍රායෙල්වරුන්ට කොහොම හැඟෙන්න ඇද්ද කියලා ඔයාට හිතාගන්න පුළුවන්ද? එයාලට සමච්චල් කරමින් බැබිලෝනිවරුන් මෙහෙම කිව්වා. “සියොන්හි ගයන ගීයක් ගයන්න.” ඒත් යුදෙව්වන් හිටියේ සිංදු කියන්න තරම් සතුටකින් නෙමෙයි. එයාලගේ සතුටට හේතුව වුණ යෙරුසලම ඒ වෙද්දී විනාශ කරලයි තිබුණේ. (ගීතා. 137:1-3, 6) ඒ වෙලාවේ එයාලට ඕනෙ වුණේ සහනයක්. ඒ සහනය එයාලට දෙනවා කියලා දෙවි කලින්ම කියලා තිබුණා. කියපු විදිහටම දෙවි ඒ දේ කළා. ඒ කොහොමද? බැබිලෝනිය යටත් කරගත්ත සයිරස් රජ මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවි යෙරුසලමෙහි ඔහුට ගෘහයක් ගොඩනැඟීමේ කාර්යය මට පවරා ඇත. ඔබ අතරේ ඔහුට නමස්කාර කරන සියලුදෙනාට ඔහුගේ ආශීර්වාද ලැබේවා! ඔවුන්ට එම නුවරට යෑමට මම අවසර දෙන්නෙමි.’ (2 ලේක. 36:23) යුදෙව්වන්ට ඒ වචන මොන තරම් සහනයක් වෙන්න ඇද්ද!
5. අපිව සනසන්න දෙවිට තියෙන හැකියාව ගැන ගීතිකාකරු කිව්වේ මොකක්ද?
5 ජාතියක් විදිහට විතරක් නෙමෙයි යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් අතරේ හිටපු එක් එක් පුද්ගලයාටත් අවශ්‍ය සහනය ලබා දුන්නා. අදත් දෙවි ඒ දේම කරනවා. ගීතිකාකරු කිව්වේ ‘බිඳුණු සිත් ඇත්තන්ට දෙවි සහනය දෙන්නේය. ඔවුන්ගේ වේදනාකාරී තුවාල ඔහු සුව කරන්නේය’ කියලයි. (ගීතා. 147:3) අපි අසනීපෙන් ඉද්දී, මානසිකව වැටිලා ඉද්දී දෙවි ඒක දකිනවා. අපේ හිත සනසලා හිතට සුවයක් දෙන්න ඔහු ඉන්නේ සූදානමින්. (ගීතා. 34:18; යෙසා. 57:15) අපි මොන ප්‍රශ්නෙට මුහුණ දුන්නත් දෙවි ප්‍රඥාව, ශක්තිය ලබා දෙන නිසා ඒවා දරාගන්න අපිට පුළුවන්.—යාකො. 1:5.
6. ගීතාවලිය 147:4 සඳහන් දේ අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
6 ඊළඟට ගීතිකාකරු අවධානය යොමු කරන්නේ තරුවලට. එයා දෙවි ගැන මෙහෙම කිව්වා. “ඔහු තාරකා සියල්ල ගණන් කරන්නේය. ඒ එක් එක් තාරකාවන් ඔහු, නම් වශයෙන් හඳුන්වන්නේය.” (ගීතා. 147:4) අහසේ තියෙන තරු දිහා බැලුවාට තරු කොයි තරම් ප්‍රමාණයක් තියෙනවාද කියලා ගණන් කරන්න ගීතිකාකරුට පුළුවන්කමක් තිබුණේ නැහැ. විද්‍යාඥයන් අපේ මන්දාකිනියේ තාරකා බිලියන ගාණක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒත් විශ්වයේ ඒ වගේ මන්දාකිනි ට්‍රිලියන ගාණක් තියෙනවා. තාරකා කීයක් තියෙනවාද කියලා ගණන් කරන්න කිසිම මිනිසෙක්ට බැහැ. ඒත් අපේ නිර්මාතෘට ඒක කරන්න පුළුවන්. දෙවි ඒ තාරකා ගැන කොච්චර හොඳට දන්නවාද කියනවා නම් ඒ හැම එකකටම ඔහු නමක් දාලා තියෙනවා. (1 කොරි. 15:41) ඒ එක් එක් තරුව තියෙන තැන දෙවි දන්නවා. එහෙමනම් දෙවි ඔයා ගැන දන්නේ නැති වෙයිද? ඔයා ඉන්නේ කොහේද, ඔයාට හැඟෙන්නේ කොහොමද, ඔයාට මොනවාද ඕනෙ කියලා දෙවි හොඳින්ම දන්නවා.
7, 8. (අ) යෙහෝවා දෙවි අපි ගැන තේරුම්ගන්නේ මොනවාද? (ආ) දෙවි කොයි තරම් දයාවන්තද කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?
7 අපි ප්‍රශ්නෙකට මුහුණ දෙද්දී යෙහෝවා දෙවි අපේ තත්වය තේරුම්ගන්නවා විතරක් නෙමෙයි ඒකට මුහුණ දෙන්න උදව් කරන්න දෙවිට හැකියාවත් තියෙනවා. (ගීතාවලිය 147:5 කියවන්න.) ඔයාට හිතෙයි ඔයා මුහුණ දෙන්නේ අමාරු ප්‍රශ්නෙකට කියලා. ‘තවත් නම් මේක දරාගන්න බෑ’ කියලත් හිතෙයි. ඒත් අපිට දරාගන්න පුළුවන් ප්‍රමාණය දෙවි දන්නවා. ‘අපිව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරනවා.’ (ගීතා. 103:14) අපි පව්කාරයන් නිසා එකම වරද ආයේ ආයේ අපි අතින් වෙනවා. එතකොට අපි කලකිරෙනවා. කියපු දෙයක් ගැන, හිතට ආපු වැරදි ආශාවක් ගැන අපි පසුතැවිලා ඇති. ඊර්ෂ්‍යාවක් ඇති වුණ එක ගැන දුක් වෙලා ඇති. ඒ වගේ දුර්වලකම් යෙහෝවා දෙවිගේ පෞද්ගලිකත්වයේ නැහැ. ඒ වුණත් ඔහු අපේ හැඟීම් තේරුම්ගන්නවා.—යෙසා. 40:28.
8 දුෂ්කර දේකට මුහුණ දීලා ඉද්දී ඒකෙන් ගොඩ එන්න යෙහෝවා දෙවි අත දෙන විදිහ ඔයා අද්දැකලා තියෙනවාද? (යෙසා. 41:10, 13) කියෝකෝ ඒක අද්දැක්කා. එයාගේ පැවරුම වෙනස් වෙලා අලුත් තැනකට යන්න වුණාම එයා අධෛර්යය වුණා. එයාගේ තත්වය දෙවි තේරුම්ගත්තා කියලා කියෝකෝට දැනුණේ කොහොමද? එයාගේ හැඟීම් තේරුම්ගන්න පුළුවන් හුඟදෙනෙක් එයා ගිය අලුත් සභාවේ හිටියා. එයාට දැනුණේ දෙවි එයාට මෙහෙම කියනවා වගෙයි. “මං ඔයාට ආදරේ කරන්නේ ඔයා පුරෝගාමි සේවය කරන නිසාම නෙමෙයි. ඔයා මගේ දුව නිසයි. ඔයා මට කැප වෙලා ඉන්න නිසයි. සාක්ෂිකරුවෙක් විදිහට ඔයා සතුටින් ඉන්නවාටයි මං ආස.” ඔයා ගැන වෙන කාටවත් තේරුම්ගන්න බැරි දේවල් යෙහෝවා දෙවි තේරුම්ගන්නවා කියලා ඔහු පෙන්නලා තියෙන්නේ කොහොමද?
අපිට අවශ්‍ය දේ දෙවි ලබා දෙනවා
9, 10. යෙහෝවා දෙවි මුලින්ම අපිට ලබා දෙන්නේ මොන දේවල්ද? අද්දැකීමකින් ඒක පැහැදිලි කරන්න.
9 අපි හැමෝටම කෑම, ඇඳුම්, ඉන්න තැනක් ඕනේ. සමහරවිට කන්න කෑම ටිකක්වත් හොයාගන්න බැරි වෙයි කියලා හිතලා ඔයා කනස්සලු වෙනවා ඇති. ඒත් යෙහෝවා දෙවි මේ පොළොව නිර්මාණය කරලා තියෙන්නේ කෑමට අවශ්‍ය දේවල් ඇති තරම් හැදෙන විදිහටයි. ‘කෑම ඉල්ලා හඬන කපුටු පැටවුන්ටත් දෙවි ආහාර සපයා දෙනවා.’ (ගීතාවලිය 147:8, 9 කියවන්න.) එහෙමනම් අපිට අවශ්‍ය දේවල් ඔහු නොදී ඉඳියිද?—ගීතා. 37:25.
10 දෙවි වැදගත්ම දේ විදිහට සලකන්නේ අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න අවශ්‍ය දේවල් ලබා දෙන එකයි. ඒ නිසා මොන දුෂ්කරතාවලට මුහුණ දුන්නත් ‘දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට අපිට පුළුවන්. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි.’ (ෆිලි. 4:6, 7) මූට්සූඕ සහ එයාගේ බිරිඳ ඒක අද්දැක්කා. 2011දී ජපානයට ඇති වුණ සුනාමියෙන් එයාලා බේරුණේ ගෙදර වහලෙට නැඟලයි. එයාලට තිබුණ හැම දෙයක්ම වගේ නැති වුණා. එදා ඒ සීතල, අඳුරු රෑ එයාලට ගෙවන්න වුණේ ගෙදර දෙවෙනි තට්ටුවේ කාමරේක. හිතට සහනයක් වෙන දෙයක් කියවන්න තියෙනවාද කියලා පහුවෙනිදා උදේ එයාලා හොයද්දී එයාලට හම්බ වුණේ ‘2006 වාර්ෂික පොත’ විතරයි. ඒ පොත පෙරළද්දී මූට්සූඕ දැක්කා මෙතෙක් වෙලා තියෙන දරුණුම සුනාමිය ගැන තියෙන වාර්තාවක්. එතන කතා කරලා තිබුණේ 2004දී ඇති වුණ සුනාමිය ගැනයි. ඒකට මුහුණ දීපු සහෝදරයන්ගේ අද්දැකීම් කියවද්දී ඒ දෙන්නාට ඇඬුණා. ඒ වෙලාවේ ඒ දෙන්නාට දැනුණේ එයාලට අවශ්‍ය වෙලා තිබුණ සහනය යෙහෝවා දෙවි දුන්නා කියලයි. දෙවි වෙනත් පැතිවලිනුත් එයාලව බලාගත්තා. ජපානයේ වෙනත් ප්‍රදේශවල හිටපු සහෝදරයන් එයාලට අවශ්‍ය කෑම, ඇඳුම් ලබා දුන්නා. ඒත් එයාලා ලොකුම සහනය අද්දැක්කේ සංවිධානය එවපු සහෝදරයන්ගෙන් ලැබුණ දිරිගැන්වීම්වලිනුයි. මූට්සූඕ මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි අපි එක් එක් කෙනා ළඟින්ම ඉඳලා අපිව ආදරෙන් බලාගන්නවා කියලා මට දැනුණා. ඒක ලොකු සහනයක්!” දෙවි අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න අවශ්‍ය දේවල් ලබා දෙනවාට අමතරව ඔහු අපේ අනිත් අවශ්‍යතා ගැනත් බලාගන්නවා.
දෙවිගේ උදව්වලින් ප්‍රයෝජන ලබන්න
11. දෙවි ලබා දෙන උදව්වලින් ප්‍රයෝජන ලබන්න පුළුවන් මොන වගේ අයටද?
11 ‘නිහතමානී අයට සහනය දෙමින් ඔවුන්ව නඟා සිටුවන්න’ යෙහෝවා දෙවි ඉන්නේ සූදානමින්. (ගීතා. 147:6අ) දෙවිගේ උදව්වලින් ප්‍රයෝජන ගන්න නම් අපේ පැත්තෙන් වෙන්න ඕනෙ මොකක්ද? අපිට දෙවි එක්ක ශක්තිමත් බැඳීමක් තියෙන්න ඕනේ. ඒ වගේ බැඳීමක් දිගටම තියාගන්න නම් අපි නිහතමානී වෙන්න ඕනේ. (ශෙප. 2:3) අසාධාරණයක් වෙද්දී, දුක් කරදර එද්දී නිහතමානී කෙනෙක් දෙවි පියවර ගන්න කල් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. එහෙම අයට දෙවිගේ අනුමැතිය ලැබෙනවා.
12, 13. (අ) දෙවි ලබා දෙන උදව්වලින් ප්‍රයෝජන ගන්න නම් අපි වළකින්න ඕනෙ මොන දේවලින්ද? (ආ) දෙවි සතුටු වෙන්නේ මොන වගේ අය ගැනද?
12 අනිත් අතට යෙහෝවා දෙවි “දුෂ්ටයන්ව පහතට හෙළා පාගා දමනවා.” (ගීතා. 147:6ආ) ඒත් අපිට ඕනෙ දෙවිගේ ආදරේ හැමදාටම ලබන්නයි. ඒ ආදරේ ලබන්න නම් දෙවි අකමැති දේවලට අපිත් ද්වේෂ කරන්න ඕනේ. (ගීතා. 97:10) අනාචාරය වගේ දේවල් ගැන අපිට තියෙන්න ඕනෙ ලොකු පිළිකුලක්. අසභ්‍ය දර්ශන ඇතුළුව අනාචාරයට මඟ පාදන ඕනෑම දේකින් අපි සම්පූර්ණයෙන්ම වළකින්න ඕනේ. (ගීතා. 119:37; මතෙ. 5:28) ඒ වගේ දේවලින් වළකින්න අපිට ලොකු සටනක් කරන්න වෙයි. ඒත් දෙවිගෙන් ලැබෙන ආශීර්වාද එක්ක බලද්දී අපි කරන සටන වටින්නේ නැද්ද?
13 යෙහෝවා දෙවිගේ උදව් නැතුව අපේම හැකියාවෙන් ඒ සටන අපිට කවදාවත්ම කරන්න බැහැ. එහෙම කරන්න හදන අය ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද? ‘අශ්වයෙකු සතු ශක්තිය ගැනවත් මිනිසෙකුට වේගයෙන් දිවීමට ඇති හැකියාව ගැනවත් දෙවි සතුටට පත් වෙන්නේ නැහැ.’ (ගීතා. 147:10) ඒ නිසා අපිට තියෙන දුර්වලකමින් ගොඩ එන්න අපිට උදව් කරන්න කියලා දෙවිට නිතරම කන්නලව් කරන්න ඕනේ. අපි එකම දේ ගැන ආයේ ආයේ දෙවිට කිව්වත් ඒවා අහන එක ඔහුට එපා වෙන්නේ නැහැ. “දෙවි කෙරෙහි ගරුබියක් ඇති, ඔහු ප්‍රේමය පෙන්වන තෙක් ආශාවෙන් බලා සිටින අය ගැන ඔහු සතුටු වෙනවා.” (ගීතා. 147:11) දෙවි අපිට ආදරේ කරන එක කවදාවත් නතර කරන්නේ නැහැ. ඒ නිසා අපේ දුර්වලකමින් ගොඩ එන්න ඔහු දිගටම අපිට උදව් කරයි කියලා නිසැකයි.
14. ගීතිකාකරුට තිබුණ නිසැකකම මොකක්ද?
14 දුෂ්කර දේකට මුහුණ දෙද්දී අපිට උදව් කරනවා කියලා යෙහෝවා දෙවි සහතික වෙනවා. ආයෙත් යෙරුසලමට ආපු ඊශ්‍රායෙල්වරුන්ට දෙවි උදව් කරන විදි ගැන ගීතිකාකරු හිතුවා. එයා මෙහෙම කිව්වා. ‘ඔහු ඔබේ දොරටුවල අගුල් ශක්තිමත් කළේය. ඔබේ පුත්‍රයන්ට ආශීර්වාද කළේය. ඔබේ දේශ සීමාව තුළ සමාදානය ඇති කළේය.’ (ගීතා. 147:13, 14) දෙවි නුවරේ දොරටු ශක්තිමත් කරපු නිසා ඔහු තමන්ගේ සෙනඟව ආරක්ෂා කරනවා කියලා ගීතිකාකරුට ස්ථිර වුණා. ඒකෙන් එයාට ලොකු සුරක්ෂිතබවක් දැනුණා.
15-17. (අ) අපි මුහුණ දෙන දුෂ්කර දේවල් ගැන සමහර වෙලාවට අපිට හැඟෙන්න පුළුවන් කොහොමද? අපිට උදව් කරන්න දෙවි ඔහුගේ වචනය පාවිච්චි කරන්නේ කොහොමද? (ආ) දෙවිගේ වදන් “වේගයෙන්” අපේ උපකාරයට එන්නේ කොහොමද?
15 ඔයා අද්දකින දුෂ්කර දේවල් නිසා සමහරවිට ඔයාට කනස්සල්ලක් දැනෙයි. ඒත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න ඔයාට අවශ්‍ය ප්‍රඥාව දෙන්න යෙහෝවා දෙවිට පුළුවන්. ගීතිකාකරු මෙහෙම කිව්වා. දෙවි “පොළොවට ආඥාවක් නිකුත් කරන්නේය. ඔහුගේ වදන් පොළොව පුරාම වේගයෙන් ඉටු වන්නේය.” ඊළඟට හිම, පිනි කැට සහ හිම කැට ගැන කතා කරන ගීතිකාකරු ‘දෙවි ගෙනෙන සීතල දරාගත හැක්කේ කාටද’ කියලා අහනවා. දෙවි “අණ දෙන විට ඒවා දිය වී යන්නේය” කියලා එයාම උත්තර දෙනවා. (ගීතා. 147:15-18) හිම කැට වගේ දේවල් වුණත් පාලනය කරන්න පුළුවන්, හැම දේම දන්න, ඕනෑම දෙයක් කරන්න හැකියාව තියෙන දෙවිට බැරිද ඔයාගේ අභියෝගය ජය ගන්න ඔයාට උදව් කරන්න?
16 යෙහෝවා දෙවි බයිබලය මාර්ගයෙන් අපිට මඟ පෙන්නනවා. ගීතිකාකරු කිව්වේ දෙවිගේ වදන් “වේගයෙන්” අපේ උපකාරයට එනවා කියලයි. අපිට අවශ්‍යම වෙලාවේදී දෙවි අපිට හරි පාර පෙන්නනවා. බයිබලය, “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලබා දෙන ප්‍රකාශන, JW බ්‍රෝඩ්කාස්ටිං එක, jw.org වෙබ් සයිට් එක, වැඩිමහල්ලන්, සහෝදර සහෝදරියන් මාර්ගයෙන් ඔයා කොයි තරම් ප්‍රයෝජන ලබලා තියෙනවාද කියලා හිතන්න. (මතෙ. 24:45) ඔයාට අවශ්‍ය මඟ පෙන්වීම් දෙන්න දෙවි ප්‍රමාද නොවී වේගයෙන් ක්‍රියාත්මක වෙන විදිහ ඔයා අද්දැකලා තියෙනවාද?
17 දේවවචනය තමන්ට උදව් වුණ විදිහ සිමෝන් අද්දැක්කා. ‘මගෙන් කිසි වැඩක් නෑ. මට දෙවිව සතුටු කරන්න බෑ’ කියලා එයාට හිතුණා. ඒත් ඒ වගේ අධෛර්යය වුණ වෙලාවලදී එයා දිගටම දෙවිට යාච්ඤා කළා. දෙවිගෙන් උදව් ඉල්ලුවා. අත් නෑර බයිබලේ අධ්‍යයනය කළා. එයා මෙහෙම කියනවා. “දෙවිගෙන් ශක්තිය, මඟ පෙන්වීම් ලැබුණේ නැති අවස්ථාවක් මගේ ජීවිතේ තිබිලා නෑ.” තමන් ගැන හොඳ හැඟීමක් ඇති කරගන්න ඒක එයාට උදව් වුණා.
18. දෙවි ඔයා ළඟින්ම ඉන්නවා කියලා ඔයාට හිතෙන්නේ ඇයි? “යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න” ඔයාට තියෙන හේතු මොනවාද?
18 සියලුම ජාතීන් අතරින් ඊශ්‍රායෙල් ජාතියව දෙවි තමන්ගේ සෙනඟ විදිහට තෝරාගත්තා කියලා ගීතිකාකරු දැනගෙන හිටියා. දෙවිගේ ‘වදන්, නියෝග සහ තීන්දු’ ලැබුණ එකම ජාතිය ඊශ්‍රායෙල් ජාතියයි. (ගීතාවලිය 147:19, 20 කියවන්න.) අද අපිටත් දෙවිගේ නම දරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක මොන තරම් ගෞරවයක්ද! දෙවිව දැන හඳුනා ගන්න ලැබුණ එක ගැන, අපිට මඟ පෙන්නන්න දේවවචනය තියෙන එක ගැන, දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ලැබුණ එක ගැන අපිට කොයි තරම් අගයක් තියෙන්න ඕනෙද! 147වෙනි ගීතිකාවේ ලේඛකයාට වගේ “යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නත්” ඒ දේම කරන්න අනිත් අයට උනන්දු කරන්නත් අපිට හුඟක් හේතු තියෙනවා.