Skip to content

පටුනට යන්න

‘සත්‍යය ඔබට නිදහස ලබා දෙයි’

‘සත්‍යය ඔබට නිදහස ලබා දෙයි’

‘සත්‍යය ඔබට නිදහස ලබා දෙයි’

යේසුස් පැවසුවේ “සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා” කියායි. (යොහන් 8:32) යේසුස් ඉන් අදහස් කළේ කුමක්ද? එනම් බයිබලයේ තිබෙන සත්‍ය ඉගැන්වීම් දැනගත් විට දෙවිව අසතුටු කරවන ඉගැන්වීම් හා චාරිත්‍රවලින් නිදහස් වීමයි. සමහරවිට එම චාරිත්‍ර ඔබට බරක් විය හැකියි. එම චාරිත්‍ර අත්හැරීමෙන් අද්දකින නිදහස ගැන අපි පහත සඳහන් අද්දැකීම්වලින් කියවා බලමු.

සත්‍යය ඔවුන්ව නිදහස් කළා

ආර්ජන්ටිනාව: “බීමත්කම නිසා මම හුඟක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒ වගේම තෑගිවලට යන වියදමත් දරාගන්න අමාරුයි. ඒත් දැන් අපි ඒ හැම දේකින්ම නිදහස්.”—ඔස්කා.

“නත්තල බොරුවක් කියලා මම දැනගත්තම මට ලොකු සහනයක් දැනුණා. දැන් මට සල්ලි තියෙන විදිහට කෙනෙකුට තෑග්ගක් අරන් දෙන්න පුළුවන්. ඒක කරන්න නත්තල එනකල් බලාගෙන ඉන්න ඕනේ නැහැ.”—මාරියෝ.

කැනඩාව: “තෑගි දෙන්න මමත් ආසයි. හැබැයි දෙන්න ඕනේ නිසා දෙන එක මනසට මහා බරක්. අපි දැන් නත්තල් සමරන්නේ නැති නිසා අපිට ඒ බර නැහැ.”—එල්ෆි.

“අම්මලා නත්තල් සමරන එක නතර කළාට ඒක අපේ සතුටට බාධාවක් වුණේ නැහැ. දැන් ඒගොල්ලන්ට හිතෙන ඕනෙම වෙලාවක අපිට තෑගි දෙනවා. ඒකට අපිත් ආසයි. සමහර වෙලාවට යාළුවෝ අහනවා තෑගි හම්බවුණේ මොකටද කියලා. ඒ වෙලාවට අපි කියනවා ‘විශේෂ හේතුවක් නැහැ’ කියලා. නත්තල් සැමරීම නතර කරන එක අම්මටයි තාත්තටයි ලෙහෙසි වුණේ නැහැ. නෑදෑයන්ගෙන් හුඟක් ප්‍රශ්න ආවා. ඒත් එයාලා අධෛර්යය වුණේ නැහැ. ඒ දෙන්නා කටයුතු කළ විදිහ අපිටත් ලොකු ශක්තියක් වුණා.”—එල්ෆිගේ දියණිය.

“නත්තල සැමරීම නතර කිරීම මට ලොකු සහනයක් වුණා. ඊට අමතරව ඒකෙන් දෙවි සතුටු වෙන බවත් මම දන්නවා. නත්තල සමරනවාට වඩා මම දැන් ලොකු සතුටක් අද්දකින්නේ දෙවිව සතුටු කිරීමෙනුයි.”—සිල්වියා.

කෙන්යාව: “නත්තල් කාලෙට කෑම බීමවලට තෑගිවලට හුඟක් වියදම් වෙන නිසා මට ණය වෙන්නත් වුණා. ණය ගෙවන්න ඕනේ නිසා දිවා රෑ නොබලා වැඩ කළා. ඒත් දැන් ඒ දේවල් කරන්නේ නැති නිසා මට ලොකු නිදහසක් දැනෙනවා.”—පීටර්.

“තෑගි දෙන්න නත්තල එනකල් ඉන්න ඕනේ නැහැ. කැමති වෙලාවට තෑග්ගක් දෙන්න පුළුවන්. එහෙම කරන එක තමයි හොඳ.”—කැරලයින්.

ජපානය: “තෑග්ගක් දෙන්න ඕනේ සතුටු සිතින්. නමුත් නත්තල් කාලේ වෙන්නේ ඒකේ අනික් පැත්ත. අපේ දරුවනුත් ඒක තේරුම්ගත්ත එක අපිට ලොකු සතුටක්.”—හිරෝෂි සහ රී.

“නත්තල් සමරන කාලේ, අපේ පුතා නිදාගත්තම අපි එයාගේ ඇඳ ළඟින් තෑග්ගක් තියනවා. එයා උදේ නැඟිටිනකොට අපි එයාට කියනවා ‘පුතා ඔයා හොඳ ළමයෙක් නිසා නත්තල් සීයා ඔයාට තෑග්ගක් තියලා ගිහින්’ කියලා. ඇත්තටම නත්තල කියන්නේ මොකක්ද කියලා අපි බයිබලයෙන් ඉගෙනගත්තාම ඒ ගැන පුතාටත් කිව්වා. එතකොට එයා හුඟක් ඇඬුවා. ඒ වෙලාවේ මට හිතුණා මගේ පුතාව රැවැට්ටුවේ මමම නේද කියලා.”—කෙයිකෝ.

පිලිපීනය: “බයිබලයෙන් යෙහෝවා දෙවි අපිට සත්‍යය පෙන්නලා දෙනවා. ඒ දේවල් ඉගෙනගත්ත එකෙන් මට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ. අනික් අයට තෑගි දෙන එක දැන් අපිට බරක් නෙවෙයි. ඒ වගේම අපි කාට හරි තෑග්ගක් දුන්නම අපිටත් එකක් ලැබෙන්න ඕනේ කියලා දැන් අපි බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.”—ඩේව්.

බයිබලයේ තිබෙන සත්‍යය දැනගැනීම නිසා මිලියන ගණන් අය බොරු චාරිත්‍ර වාරිත්‍රවලින් නිදහස් වී තිබෙනවා. ඉහත සඳහන් වන්නේ ඉන් කිහිපදෙනෙකුගේ අද්දැකීම් පමණයි. වඩා වැදගත් වන්නේ බයිබලයේ ඇති සත්‍යයට එකඟව ජීවත් වීමෙන් දෙවිව සතුටට පත් කිරීමයි. (හිතෝපදේශ 27:11) යේසුස්ද මෙවැනි දෙයක් පැවසුවා. ‘සැබෑ නමස්කාරකයන් දෙවි ලබා දෙන මඟ පෙන්වීමට හා දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව දෙවිට නමස්කාර කරයි. ඇත්තෙන්ම පියාණන් තමන්ට නමස්කාර කිරීම සඳහා සොයමින් සිටින්නේ එවැනි අයවයි.’ (යොහන් 4:23) සත්‍යය කුමක්ද කියා දැනගැනීමෙන් ඔබ සතුටක් අද්දකින්න ඇති. ඒ වගේම ඔබ දැනගත් එම සත්‍යයට එකඟව ජීවත් වීමෙන් ඔබ දෙවිටත් ඉමහත් සතුටක් ගෙන දෙයි.

[9වන පිටුවේ පින්තූරය]

ආදරය කරන කෙනෙකුට තෑග්ගක් දීමට නිශ්චිත දිනයක් අවශ්‍ය නැහැ