මුල් පිටුවෙන්
සොඳුරු නිවහන වනසන හිංසනය
පළවෙනි සිද්ධිය: ඉසබෙල්ගේ * අම්මයි තාත්තයි එයාව බලන්න ආවා. එයාලා දුවයි බෑනයි එක්ක එදා හවස් වරුව ගත කළේ හරිම විනෝදෙන්. දුවගේ මහත්තයා දුවට ආදරෙන් සලකනවා දැක්කම එයාලට දැණුනේ පුදුම සතුටක්.
දෙවෙනි සිද්ධිය: ෆ්රෑන්ක් කේන්තියෙන් ආවේස වෙලා. සාමාන්‍යයෙන් එයාට කේන්ති ගියාම බිරිඳගේ මූණට ගහනවා, පයින් ගහනවා, කොණ්ඩෙන් ඇදලා ගන්නවා නැත්නම් බිරිඳගේ ඔලුව අල්ලලා බිත්තියේ ඇනගෙන ඇනගෙන යනවා.
මේ සිද්ධීන් දෙකම වුණේ එකම යුවළක් අතරේ කියලා දැනගත්තොත් ඔයාලා පුදුම වෙයි!
‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ’ කියනවා වගේ බිරිඳට දරුණු විදිහට සලකන හුඟදෙනෙක් අනිත් අය ඉස්සරහා හොඳ මූණක් පෙන්නන්න හරි දක්ෂයි. ෆ්‍රෑන්කුත් ඒ වගේ කෙනෙක්. කවුරුත් නැති තැනයි එයා බිරිඳට කෲර විදිහට සලකන්නේ.
මේ විදිහට හැසිරෙන හුඟක් පුරුෂයන් හැදිලා
වැඩිලා තියෙන්නේ දරුණු පරිසරයක. වැඩිහිටියන් වුණාට පස්සෙ එයාලා හිතන්නෙ එහෙම හැසිරෙන එකේ වරදක් නැහැ කියලයි. ෆ්රෑන්ක් හිතුවෙත් එහෙමයි. ඒත් ගෘහස්ථ ප්රචණ්ඩත්වය සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසයි ඒ වගේ සිද්ධීන් ගැන කවුරුත් කම්පා වෙන්නෙ.ගෘහස්ථ හිංසනය එක රටකට ජාතියකට සංස්කෘතියකට හෝ සමාජ මට්ටමකට සීමා වෙලා නෑ. ඒක ලෝකය පුරාම ඔඩු දුවපු ප්‍රශ්නයක්. උදාහරණෙකට ඇමරිකාවේ ආයතනයකට එක දවසක් ගෘහස්ථ හිංසනයට ලක්වූ අයගෙන් දුරකතන ඇමතුම් 16කටත් වඩා ලැබුණා. හුඟක් සිද්ධීන් වාර්තා වෙන්නෙ නැති නිසා ඇත්ත තත්වය මීට වඩා දරුණු බවට කිසිම සැකයක් නෑ. *
තමන්ගේ බිරිඳට මෙච්චර කෲර විදිහට සලකන්න සැමියෙක්ට පුළුවන්ද? ඒ වගේ දරුණු කෙනෙක්ට වෙනස් වෙන්න උදව් කරන්න පුළුවන්ද? අපි ඒ ගැන බලමු.
බයිබලයේ තියෙන උපදෙස් පිළිපැද්දොත් කොච්චර දරුණු කෙනෙක්ට වුණත් කාරුණාවන්ත, අනිත් අයට ගරු කරන කෙනෙක් වෙන්න පුළුවන් කියලා මේ සඟරාවේ ප්‍රකාශකයන් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. (කොලොස්සි 3:8-10) එහෙම වෙනස් වෙන එක ලේසි නෑ. හැබැයි බැරිකමකුත් නෑ. ට්‍රෝයි සහ වැලරි ඒකට හොඳ උදාහරණයක්.
ඒ කාලේ ඔය දෙන්නා අතර තිබුණේ මොන වගේ බැඳීමක්ද?
වැලරි: බැඳීම කොහොම වුණත් විවාහ ගිවිසගත් දා රෑම ට්‍රෝයි මගේ කම්මුලට ගැහුවා. පාරෙ සැර කොච්චරද කියනවා නං ඉදිමුම බහින්නම සතියක් ගියා. ආයෙ කවදාවත් කරන්නෑ කියලා සමාව ඉල්ලලා පොරොන්දු වුණා. හැබැයි ඒක වචනෙට විතරයි.
ට්‍රෝයි: පුංචි දේටත් මට හරියට කේන්ති ගියා. කෑම ටික පරක්කු වුණත් ඇති මං එයාට ගහනවා. දවසක් පිස්තෝලේ මිටෙනුත් ගැහැව්වා. තව
දවසක් මං කොච්චර ගැහුවද කියනවා නං මං හිතුවේ එයා මැරුණා කියලා. තවත් දවසක් පුතාගේ බෙල්ලට පිහියක් තියලා පුතාව මරනවා කියලා මං වැලරිව භය කෙරුවා.වැලරි: හැම දවසකම මං හිටියේ පුදුම භයකින්. දවසක් ට්‍රෝයිට හොඳටම කේන්ති ගියා. භය වෙච්ච පාර මං ගෙදරින් පැනලා දිව්වා. මං ආයෙත් ආවෙ එයාගේ කේන්තිය නිවුණට පස්සෙ. ගුටි කනවට වඩා මට අමාරු වුණේ එයාගේ හිත පෑරෙන කතා අහං ඉන්න එකයි.
ට්‍රෝයි, ඔයා පුංචි කාලේ ඉඳන්ම දරුණුද?
ට්‍රෝයි: ඔව්. ඒ කාලෙ ඉඳන්ම වසයි. තාත්තා අම්මට හිරිහැර කරන හැටි මං පොඩි කාලේ ඉඳන්ම දැක්කා. අම්මට විතරක් නෙමේ එයා මටයි අක්කටත් හොඳටම ගැහැව්වා. තාත්තා අපිව දාලා ගියාට පස්සෙ අම්මා වෙන කෙනෙක් එක්ක ජීවත් වුණා. ඒ මිනිහා මහ තිරිසනෙක්. එයා අක්කවයි මාවයි දෙන්නවම දූෂණය කෙරුවා. ඒකට එයා හිරෙත් ගියා. හැබැයි මේ කිසිම දෙයක් වැලරිට නපුරු විදිහට සලකන්න හේතුවක් නෙමේ කියලා මං දන්නවා.
වැලරි, ඇයි ඔයා මේ හැම දෙයක්ම විඳගෙන හිටියේ?
වැලරි: භයට. මං හිතුවා දාලා ගියොත් එහෙම මාවත් අම්මලාවත් මරයි කියලා. කාට හරි කියන්න ගියොත් තත්වෙ තවත් දරුණු වෙයි කියලත් මං භය වුණා.
ට්‍රෝයි, කොහොමද ඔයා වෙනස් වුණේ?
ට්‍රෝයි: වැලරි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තම එයාට අලුත් යාළුවො හම්බුණා. ඒ ගැන මට ඉරිසියා හිතුණා. හිතට භයකුත් ආවා. ඉතිං එයාව මේ අලුත් ආගමට යන එකෙන් නවත්වන්න මං නොකරපු දෙයක් නෑ. එයාගේ සාක්ෂිකාර යාළුවන්ට සැලකුවෙත් ඒ විදිහට. දවසක් දා අපේ පුතා ඩැනියෙල්ට වලිප්පුව හැදුණා. එතකොට එයාට අවුරුදු හතරයි. ඉස්පිරිතාලෙ නතර කරලා හිටිය සති තුන පුරාම සාක්ෂිකාරයො අපිට ගොඩක් උදව් කළා. ඒ දවස්වල අපේ ඩෙසරි දුවව බලාගත්තෙත් එයාලා. එතකොට දුවට වයස අවුරුදු හයක් විතර. දවසක් සාක්ෂිකාරයෙක් රෑ වැඩ කරලා හිටියත් පුතාව බලාගන්න උදෙන්ම ආවෙ වැලරිට ගෙදර ගිහින් ටිකක් විවේක ගන්න. එයාලගේ ආදරයයි කරුණාවයි මගේ හිතට තදින්ම දැණුනා. මං මෙච්චර නපුරු වුණේ මේ වගේ හොඳ මිනිස්සුන්ට නේද කියලා මට හිතුණා. මේ අය තමයි යේසුස්ගේ නියම අනුගාමිකයෝ කියලා මට තේරුණ හින්දා මමම ගිහින් මට බයිබලයේ තියෙන දේවල් උගන්නන්න කියලා එයාලට කිව්වා. මං බයිබලෙන් ඉගෙනගත්තා සැමියෙක්
බිරිඳට සලකන්න ඕනෙ කොහොමද කියලා. අන්තිමේදි මං දරුණු ගතිත් හිත් පාරන කතාත් සම්පූර්ණයෙන්ම අයින් කරලා යෙහෝවාදෙවිගේ සාක්ෂිකරුවෙක් වුණා.මොන බයිබල් ප්රතිපත්තිද උදව් වුණේ?
ට්‍රෝයි: හුඟක් ප්‍රතිපත්ති උදව් වුණා. එකක් තමයි 1 පේතෘස් 3:7. එතන කියන්නේ බිරිඳට “ගෞරව” කරන්න කියලා. ගලාති 5:23 “මෘදුකම, තමාව පාලනය කරගැනීම” වගේ ගුණාංග ඇති කරගන්න දිරිගන්නනවා. “නින්දාසහගත කතා” කොහෙත්ම සුදුසු නෑ කියලා එෆීස 4:31 කියනවා. හෙබ්‍රෙව් 4:13 කියන්නේ ‘දෙවි ඉදිරියෙහි කිසිවක් සඟවන්න බැහැ. සියල්ල වැස්මක් නැතුව ඔහු ඉදිරියෙහි නිරාවරණය වෙලා තියෙනවා’ කියලයි. ඒ විතරක් නෙමෙයි “නරක ආශ්‍රය නිසා හොඳ පුරුදු නැති” වෙන හින්දා මගේ පරණ යාළුවන්වත් මං අත්හැරියා. (1 කොරින්ති 15:33) ඇත්තටම මගෙ පරණ යාළුවො කෙරුවේ මගේ දරුණු වැඩවලට උල්පන්දම් දෙන එක විතරයි. එයාලා නිතරම කිව්වෙ ‘ගෑණිව පාලනය කරගන්න නං දෙකක් අනින්නම ඕනෙ’ කියලා.
පවුල් ජීවිතය ගැන දැන් මොනවද හිතෙන්නේ?
වැලරි: ට්‍රෝයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙලා දැන් අවුරුදු 25ක් වෙනවා. එදා ඉඳන් එයා මට හරිම ආදරෙන් සලකනවා. මං ගැන ගොඩක් සැලකිලිමත්.
ට්‍රෝයි: මගෙ බිරිඳටයි දරුවන්ටයි කරපු නපුරු දේවල් මට වෙනස් කරන්න බෑ. එත් යෙසායා 65:17 කියන විදිහට අපේ ජීවිතේ අඳුරු දවස් ආයෙ කවදාවත් මතක් වෙන්නැති කාලයක් ළඟදිම එනවා. ඒ දවස එනකං මට ඉවසිල්ලක් නෑ.
ගෘහස්ථ හිංසනයෙන් දුක් විඳින අයට ඔයාලා දෙන උපදෙස මොකක්ද?
ට්‍රෝයි: ඔයා පවුලේ අයට හිරිහැර කරන, හිත රිදෙන විදිහට කතා කරන කෙනෙක් නම් ජීවිතේ වෙනස් කරගන්න ඔයාට උදව් ඕනෙ කියලා මුලින්ම පිළිගන්න. උදව් කරන්න ඕන තරම් අය ඉන්නවා. ඒ උදව් ගන්න. මට නං උදව් වුණේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ. එයාලත් එක්ක බයිබලය පාඩම් කරපු එක, එයාලව ආශ්‍රය කරපු එක මගෙ දරුණු ගතිගුණ වෙනස් කරගන්න උදව්වක් වුණා.
වැලරි: ඔයා හිංසනයට ගොදුරු වුණ කෙනෙක් නම් ඔයා ඉන්න තත්වෙ අනිත් අයගෙ තත්වෙ එක්ක සන්සන්දනය කරන්න ඉක්මන් වෙන්න එපා. ඔයාගෙ තත්වෙ හොඳට දන්නවා කියලා හිතාගෙන සමහරු උපදෙස් දෙන්න හදයි. ඒත් ඒවා පිළිපදින්න ඉක්මන් වෙන්න එපා. හැමෝටම එකම විදිහෙ ප්‍රතිඵල ලැබෙන්නැති වෙන්න පුළුවන්. ඒත් අද අපි දෙන්නා අතර තියෙන කිට්ටු බැඳීම ගැන හිතද්දී ට්රෝයිව දාලා ගියේ නැති එක ගැන මං ගොඩක් සතුටු වෙනවා.
ගෘහස්ථ හිංසනය නැතිවෙන්න නම් . . .
බයිබලය, ඒ කියන්නේ ‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියලා තියෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන්. එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ප්‍රයෝජනවත්.’ (2 තිමෝති 3:16) පවුලෙ අයට හිරිහැර කළ හුඟදෙනෙක් බයිබලේ උපදෙස් ඉගෙනගෙන හිතන විදිහත් වෙනස් කරගෙන ට්‍රෝයි වගේ ගුණ යහපත් අය වෙලා තියෙනවා.
විවාහ ජීවිතේ සාර්ථක කරගන්න බයිබල් උපදෙස් ප්‍රයෝජනවත් වෙන්නෙ කොහොමද කියලා දැනගන්න කැමතිද? වැඩි විස්තර දැනගන්න ඔයාලගෙ ප්‍රදේශයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමුවෙන්න. නැත්නම් www.pr2711.com වෙබ් අඩවියට පිවිසෙන්න.
^ 3 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.
^ 8 ඡේ. වැඩියෙන්ම හිංසනයට ලක් වන්නේ කාන්තාවන් වුණත් පුරුෂයන්ද සෑහෙන ගණනක් හිංසනයට ලක් වෙනවා.