Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | යෞවනයන්ට

වරදක් කරන්න පෙලඹීමක් ඇති වෙද්දී . . .

වරදක් කරන්න පෙලඹීමක් ඇති වෙද්දී . . .

ප්‍රශ්නය

“සමහර වෙලාවට ගැහැනු ළමයි මගේ ෆෝන් නම්බර් එක ඉල්ලනවා. එයාලත් එක්ක රැයක් ගත කරන්න කියලත් කියනවා. මම ඒවට කැමති නැති වුණත් සමහර ගැහැනු ළමයි හරිම ලස්සන නිසා හිත ඇදිලා යනවා. ඒ වගේ වෙලාවට ‘නම්බර් එක දෙන්න තිබුණානේ’ කියලා හිතෙනවා.”—16 හැවිරිදි කාලෝස්. *

ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද? බය වෙන්න එපා. ඔයාට ඒ වගේ සිතුවිලිවලින් ගොඩ එන්න පුළුවන්.

ඔබ දැනගත යුතු දේ

වරදක් කළොත් ඉතුරු වෙන්නේ වේදනාව විතරයි

ඕනම කෙනෙක්ට වැරදි සිතුවිලි එනවා. “මම දෙවිගේ නීතියට මුළු හදවතින්ම ඇලුම් කරන්නෙමි. නමුත් මගේ මනසේ ඇති එම නීතියට විරුද්ධව සටන් කරන තවත් නීතියක් මගේ ශරීරය තුළ තිබේ. ඒ නීතිය මගේ ශරීරය තුළ ක්‍රියාත්මක වේ. මම පාපය නමැති එම නීතියට වහල් වී සිටිමි” කියා බයිබල් ලේඛකයෙක් වූ පාවුල් ලියද්දී ඔහු සිටියේ තරුණ වයස පහු කරලයි. (රෝම 7:22, 23) කොච්ච්ර ලොකු පෙලඹීමක් තිබුණත් ඔහු වැරදි සිතුවිලිවලට ඉඩ දුන්නේ නැහැ. ඔයාටත් ඒ වගේ වෙන්න පුළුවන්. (1 කොරින්ති 9:27) තරුණ කාලයේ ඉඳන්ම වැරදි ආශාවන්වලට අහු නොවී ඉන්න පුරුදු වුණොත් ප්‍රශ්න ගැටලු අඩු වෙනවා විතරක් නෙමෙයි හොඳ වැඩිහිටියෙක් වෙන්නත් ඒක උදව්වක්.

අහන දකින දේවල් අපිට බලපානවා. “යොවුන් වියට ආවේණික වූ ආශාවන්” ගැන බයිබලයේ සඳහන් වෙනවා. (2 තිමෝති 2:22) ඒවා පාලනය කරගන්න ලේසි නැහැ. ඒ විතරක් නෙමෙයි යෞවනයන් වෙනුවෙන් හදලා තියෙන චිත්‍රපටි, රූපවාහිනි වැඩසටහන්, ගීත සහ පොත් පත්වලින් ඒ ආශාවන් තෘප්තිමත් කරගන්න එක වැරදි නැහැයි කියලත් පෙන්වනවා. ඒ නිසා ඒ ආශාවන් තවත් වැඩි වෙනවා. උදාහරණයකට ගැහැනු කෙනෙක් හා පිරිමි කෙනෙක් ආදරය කරනවා නම් ආශාවන් පාලනය කරගන්න බැරුව ඒ දෙන්නා ලිංගික සම්බන්ධකම් පවත්වනවා කියලා බොහෝදුරට චිත්‍රපටිවල පෙන්වනවා. ඒත් බයිබලයේ කියන්නේ “පව්කාර ආශාවලින් දිගටම වැළකී සිටින්න” මිනිසුන්ට හැකියාවක් තියෙනවා කියලයි. (1 පේතෘස් 2:11) ඒකෙන් පැහැදිලි වෙන්නේ වරදක් කරන්න පෙලඹීමක් ආවත් ඒකට අහු නොවී ඉන්න පුළුවන් කියලයි.

මොනවද කරන්න පුළුවන්?

දුර්වලකම් හඳුනාගන්න. දුර්වල පුරුකක් තිබුණොත් ශක්තිමත් දම්වැලක් වුණත් කැඩෙනවා. ඒ වගේ හරි දේ කරන්න ඔයා කොච්චර අධිෂ්ඨාන කරගෙන හිටියත් ඔයාගේ දුර්වලකම් හඳුනගත්තේ නැත්නම් අධිෂ්ඨානයට ඒවා බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ආරක්ෂා වෙන්න ඕන මොන වගේ පැතිවලින්ද කියලා හිතලා බලන්න.—යාකොබ් 1:14 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

කලින්ම හිතලා බලන්න. වරදකට වැටෙන්න පුළුවන් අවස්ථා ගැන කලින්ම හිතන්න. ඒ වගේ වෙලාවට කරන කියන දේවල් ගැනත් හිතන්න.—හිතෝපදේශ 22:3 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න. අනාචාරයේ යෙදෙන්න යෝසෙප් කියන තරුණයාට ස්ත්‍රියක් බලපෑම් කළ අවස්ථාවක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ වෙලාවේ ඔහු මෙහෙම කිව්වා. “මේ තරම් දුෂ්ට දෙයක් කර දෙවිට විරුද්ධව මම පව් කරන්නේ කොහොමද?” (උත්පත්ති 39:9) ඔහුට හරි දේ කරන්න ලොකු අධිෂ්ඨානයක් තිබුණා කියලා ඒකෙන් පැහැදිලියි. ඔයත් ඒ වගේද?

හොඳ යාළුවන්ව ආශ්‍රය කරන්න. ඔයා වගේම හරි දේ කරන්න කැමති යාළුවන්ව ආශ්‍රය කරනවා නම් වැරදි දේ කරන්න එල්ල වන පීඩනය අඩු වෙයි. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය.”—හිතෝපදේශ 13:20.

වරදක් කරන්න පෙලඹෙන්න පුළුවන් තත්වයන් මඟහරින්න. උදාහරණයකට,

  • විරුද්ධ ලිංගයේ කෙනෙක් එක්ක තනි වෙන්න එපා.

  • ඉන්ටනෙට් එකෙන් අසභ්‍ය දර්ශන බලන්න පෙලඹීමක් ඇති වෙයි කියලා හිතන වේලාවන් සහ තැන්වලදී ඉන්ටනෙට් එක බලන්න එපා.

  • වැරදි දෙයකට ආසාවක් ඇති වෙන විදිහට කතා කරන හා හැසිරෙන අයව ආශ්‍රය කරන්න එපා.

වරදක් කරන්න පෙලඹෙන්න පුළුවන් තත්වයන් මඟහරින්න ඔයාට කරන්න පුළුවන් මොනවාද කියලා හිතලා බලන්න.—2 තිමෝති 2:22 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

යාච්ඤා කරන්න. ‘වරදක් කිරීමට පෙලඹීමක් ඇති නොවීම සඳහා නොකඩවා යාච්ඤා කරන්න’ කියලා යේසුස් ගෝලයන්ට කිව්වා. (මතෙව් 26:41) ඔයා වැරදි ආශාවන්වලට අහු නොවී ඉන්නවා දකින්නයි යෙහෝවා දෙවි කැමති. ඒකට ඔයාට උදව් කරන්නත් දෙවියන් කැමතියි. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. ‘එවැනි පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම හසු වී ඒවායින් යටපත් වී යෑමට දෙවියන් ඉඩ දෙන්නේ නැත. මන්ද වැරදි දේවල් කිරීමට පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට එයින් ගොඩ ඒමට මඟක් ඔහු සලසා දෙයි. එමනිසා ඊට හොඳින් මුහුණ දීමට ඔබට හැකි වෙයි.’—1 කොරින්ති 10:13.

^ 4 ඡේ. නම වෙනස් කර ඇත.