මේ ඔබේ පවුලටයි | යෞවනයන්ට
කේන්තිය පාලනය කරගන්නේ කොහොමද?
ප්රශ්නය
“අක්කා එක්ක කේන්ති ගිහින් මං එයාට කෑගහගෙන හයියෙන් දොර ඇරියා. දොරේ ලොක් එක වැදිලා බිත්තියත් හිල් වුණා. ඒක දකින හැම සැරේටම මං කොච්චර මෝඩ විදිහටද හැසිරුණේ කියලා මතක් වෙනවා.”—ඩිඈන්. *
“‘ඔයාට නම් තාත්තා කියන්නවත් වටින්නේ නැහැ’ කියලා මං හයියෙන් දොර වැහුවා. ඒත් දොර වැහෙන්න කලින් මං දැක්කා තාත්තා දුකෙන් බලං ඉන්නවා. අයියෝ ඇයි මං එහෙම කිව්වේ කියලා මට හිතුණා.”—ලොරෙන්.
ඔයාටත් ඒ අයට වගේ කේන්ති යනවාද? එහෙමනම් මේ ලිපිය ඔයාට ප්‍රයෝජනවත් වෙයි.
දැනගන්න ඕන දේ
කේන්ති ගන්න එකෙන් නම කැත වෙනවා. “මට කේන්ති ගියාම ඒක මගේ විදිහ කියලා අනිත් අය තේරුම්ගන්න ඕන කියලයි මං හිතුවේ. ඒත් ඒ විදිහට හැසිරෙන අයව අනිත් අයට පේන්නේ මෝඩයෝ විදිහටයි කියලා තේරුණේ පස්සෙයි. මෙච්චර කල් මාව පේන්න ඇත්තෙත් ඒ විදිහටයි” කියලා අවුරුදු 21ක් වයස බ්රිඈන් කියනවා.
බයිබලයේ කියන්නේ මෙහෙමයි. “කෝප වීමට ඉක්මන් වන තැනැත්තා මෝඩයෙක්.”—හිතෝපදේශ 14:17.
කේන්ති යන අයට කවුරුත් කැමති නැහැ. “ඔයාට කේන්ති යනවා නම් අනිත් අයගේ ආදරයයි ගෞරවයයි නැති වෙනවා” කියලා අවුරුදු 18ක් වයස ඩැනියෙල් කියනවා. ඒ වයසේම ඉන්න ඉලේන් කිව්වේ මෙහෙමයි. “කේන්ති යන අයට කවුරුත් කැමති නැහැ. ඔයා ඒ වගේ කෙනෙක් නම් ඔයාට ළං වෙන්න අනිත් අය බය වෙයි.”
බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ඉක්මනින් කෝප වන තැනැත්තෙකු සමඟ මිත්‍ර නොවන්න. හදිසි කෝපයෙන් ක්‍රියා කරන්නෙකු සමඟ ඇසුරු නොකරන්න.”—හිතෝපදේශ 22:24.
ගොඩ එන්න පුළුවන්. “තරහ යන්න හේතු වෙන දේවල් ඔයාට හැම තිස්සෙම වළක්වන්න බැහැ. ඒත් ඒ වගේ වෙලාවට කරන දේ පාලනය කරන්න ඔයාට පුළුවන්. කේන්තියෙන් පුපුරන්න ඕනේ නැහැ” කියලා අවුරුදු 15ක් වයස සේරා කියනවා.
බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ඉක්මනින් කේන්ති නොගන්න තැනැත්තා බලවන්තයෙකුට වඩා ශක්තිමත්ය. තමාවම පාලනය කරගන්න තැනැත්තා නුවරක් අල්ලාගන්නා කෙනෙකුටත් වඩා බලවත්ය.”—හිතෝපදේශ 16:32.
මොනවද කරන්න පුළුවන්?
අධිෂ්ඨානයක් ගන්න. “ඒ මගේ හැටි” කියලා මුකුත් නොකර ඉන්නවා වෙනුවට කේන්තිය පාලනය කරගන්න උත්සහ කරන්න. මෙහෙම කරලා බලන්න. මාස 6ක් ඇතුළත ඔයාට කේන්ති ගිය වෙලාවල්වලදී (1) කේන්ති ගියේ ඇයි? (2) ඔයා මොනවද කළේ? (3) ඔයාට මොනවද කරන්න තිබුණේ හා එහෙම කළා නම් හොඳයි කියලා හිතන්නේ ඇයි කියලත් ලියාගන්න. එහෙම කළොත් ඊළඟ සැරේ කේන්තිය පාලනය කරන්න මොනවද කරන්න ඕනේ කියලා ඔයාටම තේරෙයි. ඔයා සාර්ථක වෙච්ච අවස්ථා ගැනත් ඒ වෙලාවේ ඔයාට දැනුණු සහනය ගැනත් ලියාගන්න.—කොලොස්සි 3:8 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.
යමක් කරන්න කලින් හිතලා බලන්න. කටට එන දේ එකපාරටම කියන්න එපා. ඉවසන්න. අවුරුදු 15ක් වයස එරික් මෙහෙම කියනවා. “ලොකු හුස්මක් ගත්තම මට හිතන්න කාලේ තියෙනවා. එතකොට පස්සේ දුක්වෙන්න වෙන දෙයක් කරන්න හරි කියන්න හරි වෙන්නේ නැහැ.” ඕන නම් ඔයාත් එහෙම කරලා බලන්න.—හිතෝපදේශ 21:23 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.
අනිත් කෙනා ගැනත් හිතන්න. හුඟක් වෙලාවට ඔයාට කේන්ති යන්නේ ඒ සිද්ධිය ඔයාට බලපාන විදිහ ගැන විතරක් හිතන නිසයි. ඒක අනිත් කෙනාට බලපාපු විදිහ ගැනත් හිතන්න. ඒ ගැන ජෙසිකා මෙහෙම කියනවා. “අනිත් කෙනා හරිම සැර කෙනෙක් වුණත් එයාගේ පැත්තෙන් හිතනවා නම් එයාව තේරුම්ගන්න මට පුළුවන් වෙනවා.”—හිතෝපදේශ 19:11 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.
ඕනේ නම් එතැනින් යන්න. “රණ්ඩුවක් හටගැනීමට පෙර එතැනින් අහක්ව යන්න” කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 17:14) ඒ නිසා තත්වය දරුණු අතට හැරෙනවා නම් එතනින් ඉවත් වෙලා යන්න. ඒ ගැන හිතහිතා කේන්තිය වැඩි කරගන්නවා වෙනුවට මොනවා හරි වැඩක යෙදෙන්න. ඩැන්යෙල් මෙහෙම කියනවා. “මං ව්‍යායාම් කරනවා. එතකොට කේන්තිය නිවිලා යනවා.”
අත හැරලා දාන්න. “ඔබේ සිත කැලඹුණත් පව් නොකරන්න. කීමට ඇති දේ ඔබේ සිතේම තබාගන්න” කියලයි බයිබලයේ කියන්නේ. (ගීතාවලිය 4:4) ඒ කියන්නේ සමහර වෙලාවට හිත කැලඹෙන දේවල් වෙන්න පුළුවන්. ඒත් ඊළඟට වෙන්න පුළුවන් දේවල් ගැන හිතලා අපි පරෙස්සම් වෙන්න ඕන. රිචඩ් කියන විදහට “අනිත් අය නිසා අපිට තරහ යනවා කියන්නේ අපි ඒ අයට අපිව පාලනය කරන්න ඉඩ දෙනවා කියන එකයි. ඒ නිසා බුද්ධිමත් විදිහට හිතලා කාරණය අත හැරලා දාන්න.”
^ 4 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.