Skip to content

පටුනට යන්න

සදාකාලික රජුට සේවය කරන්න

සදාකාලික රජුට සේවය කරන්න

‘සදාකාලික රජ්ජුරුවන්ට සදහටම සියලු ප්‍රශංසාවත් ගෞරවයත් හිමි වේවා!’1 තිමෝ. 1:17.

1, 2. (අ) “සදාකාලික රජ්ජුරුවන්” කවුද? එසේ පැවසිය හැක්කේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) ඔහුගේ පාලනයට යටත් වන්න අප කැමති ඇයි?

ස්වාසිලන්තයේ සිටි දෙවෙනි සෝබූසා රජ ගැන ඔබ අසා තිබෙනවාද? ඔහු අවුරුදු 61කට ආසන්න කාලයක් රජකම් කළා. එතරම් දිගු කාලයක් පාලනය කළත් ඔහුගේ මරණයත් සමඟම ඔහුගේ පාලනය අවසන් වුණා. නමුත් කිසිදා මිය නොයන රජෙකු ගැන ඔබ දන්නවාද? බයිබලයේ ඔහුව හඳුන්වන්නේ “සදාකාලික රජ්ජුරුවන්” ලෙසයි. (1 තිමෝ. 1:17) ඒ වෙන කිසිවෙකු නොව යෙහෝවා දෙවියි. “යෙහෝවා දෙවි සදාකාලයෙන් සදාකාලයටම රජුය” කියාත් බයිබලයේ සඳහන් වෙනවා.ගීතා. 10:16.

2 යෙහෝවා දෙවිගේ පාලනය සදාකාලික පාලනයක් නිසා එය මිනිසුන්ගේ පාලනයන්ට වඩා අද්විතීයයි. නමුත් ඔහුගේ පාලනයට යටත් වන්න අප තුළ කැමැත්තක් ඇති වන්නේ ඔහු පාලනය කරන ආකාරය නිසයි. ඒ ගැන අවුරුදු 40ක් පුරා රජකම් කළ දාවිත් පවසන්නේ මෙයාකාරයටයි. “යෙහෝවා දෙවි දයාන්විතය. කරුණාවන්තය. කෝප වීමට ඉක්මන් නොවන්නේය. ඔහු පෙන්වන ප්‍රේමය අතිමහත්ය. යෙහෝවා දෙවි තම සිංහාසනය ස්වර්ගයේ ස්ථිර ලෙස පිහිටුවා ඇත. ඔහු සියල්ලන් කෙරෙහි රජකම් කරන්නේය.” (ගීතා. 103:8, 19) අපගේ රජ මෙන්ම අපගේ ප්‍රේමණීය පියාණන් වන්නෙත් ඔහුයි. එසේ පැවසිය හැක්කේ කෙසේද? ඒදන් උයනේ කැරැල්ලෙන් පසුත් ඔහු දිගටම සියල්ලේ පාලකයා ලෙස කටයුතු කර තිබෙන්නේ කෙසේද? එම ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමෙන් ඔහුට තව තවත් ළං වන්නත් ඔහු ගැන අපට ඇති විශ්වාසය තව වැඩි කරගන්නත් හැකි වනවා නිසැකයි.

පියෙකුගේ රැකවරණය ලබන එක්සත් පවුලක්

3. දෙවිගේ පවුලේ පළමු සාමාජිකයා කවුද? ඒ පවුලට එකතු වූ අනිකුත් ‘පුත්‍රයන්’ කවුද?

3 අපට සිතාගැනීමටවත් නොහැකි කාලයකට පෙර යෙහෝවා දෙවි ඔහුගේ මුල්ම නිර්මාණය කළා. ඔහු ඒ නිර්මාණය සැලකුවේ ඔහුගේ එකම පුත්‍රයා ලෙසයි. දෙවි ඔහුට බොහෝ සෙයින් ආදරය කළා පමණක් නොව තමන් සමඟ එක්ව අනිකුත් සෑම දෙයක්ම නිර්මාණය කිරීමේ වරප්‍රසාදයද ලබා දුන්නා. (කොලො. 1:15-17) ඔවුන් දෙදෙනා එක්ව බිලියන ගණනක් වූ දේවදූතයන්වද නිර්මාණය කළා. ප්‍රීතියෙන් “දෙවිගේ කැමැත්ත ඉටු කරන ඔහුගේ සේවකයන්” වන ඔවුන්වද දෙවි සැලකුවේ තම ‘පුත්‍රයන්’ ලෙසයි.ගීතා. 103:20-22; යෝබ් 38:7.

4. දෙවිගේ පවුලට මිනිසුන්ද ඇතුළත් වුණේ කෙසේද?

4 දෙවි තම පවුල තවත් විශාල කිරීමේ අරමුණින් මේ පෘථිවියද නිර්මාණය කළා. සොඳුරු නිවහනක් ලෙස මෙම පෘථිවිය නිර්මාණය කළ අපගේ ශ්‍රේෂ්ඨ දෙවි විස්මයජනක නිර්මාණවලින් එය අලංකාරවත් කළා. ඉන්පසු ඔහු තමන්ගේ ගතිලක්ෂණ ඇතුව මුල්ම මිනිසාව නිර්මාණය කළා. (උත්. 1:26-28) ආදම්ගේ නිර්මාතෘ ලෙස ඔහුගෙන් කීකරුකම බලාපොරොත්තු වන්න දෙවිට සම්පූර්ණ අයිතිය තිබුණා. යෙහෝවා දෙවි පියෙකු ලෙස ආදම්ට අවශ්‍ය සෑම මඟ පෙන්වීමක්ම ලබා දුන්නා. ඒ මඟ පෙන්වීම් නිසා ඔහුගේ නිදහස කිසිසේත්ම සීමා වුණේ නැහැ.උත්පත්ති 2:15-17 කියවන්න.

5. මිනිසුන් සඳහා දෙවිට තිබුණ අරමුණ කුමක්ද?

5 මිනිස් පාලකයන්ට වඩා වෙනස්ව අපගේ රජු වන යෙහෝවා දෙවි තමන් යටතේ සිටින අයව සලකන්නේ තම පවුලේ අය ලෙසයි. දෙවි ඔවුන්ට වගකීම් භාර දෙන්නෙත් කැමැත්තෙන්මයි. සතුන්ව පාලනය කිරීමේ වගකීම ආදම්ට ලබා දීම ඊට උදාහරණයක්. ඒ සතුන්ට නම් තැබීමේ අසීරු එහෙත් ප්‍රීතිමත් වගකීමත් දෙවි ආදම්ට භාර දුන්නා. (උත්. 1:26; 2:19, 20) ආදම් හා සමාන මිනිසුන් මිලියන ගණනක් නිර්මාණය කර මේ පොළොව පිරවීමට දෙවිට හැකියාව තිබුණත් එසේ නොකර දෙවි ආදම්ට සහකාරියක් ලබා දුන්නා. (උත්. 2:21, 22) එසේ කළේ ඔවුන් දෙදෙනාගෙන් පැවතෙන අයගෙන් පොළොව පුරවා පොළොවේ සීමා දක්වා ඒදන් උයන ව්‍යාප්ත කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දීමටයි. දෙවිගේ පවුලේ සාමාජිකයන් ලෙස දේවදූතයන් හා එක්ව යෙහෝවා දෙවිට සදාකාලයටම නමස්කාර කිරීමට දෙවි මිනිසුන්ට දී තිබුණේ මොන තරම් අමිල වරප්‍රසාදයක්ද! යෙහෝවා දෙවි ප්‍රේමණීය පියෙක් කියා පැවසීමට ඊට වඩා තවත් හේතු අවශ්‍යද?

කැරලිකාර දරුවන් තම පියාගේ පාලනය ප්‍රතික්ෂේප කරයි

6. (අ) දෙවිගේ පවුලට අයත් කිහිපදෙනෙක් කැරලිගැසුවේ කෙසේද? (ආ) ඒ කැරැල්ල නිසා පාලනය කිරීමට දෙවි සතු අයිතිය අහිමි නොවූ බව පැවසිය හැක්කේ කෙසේද?

6 තමන්ට තිබූ සෑම වරප්‍රසාදයකටම පයින් ගසා කැරලිකාර සාතන් හා එක්ව දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කරන්න ආදම් හා ඒව තීරණය කිරීම මොන තරම් කනගාටුදායකද! (උත්. 3:1-6) දෙවිගේ පාලනයෙන් බැහැර වූ ජීවිතය ඔවුන්ටත් ඔවුන්ගෙන් පැවතෙන්නන්ටත් ගෙන දුන්නේ දුක, වේදනාව හා මරණය පමණයි. (උත්. 3:16-19; රෝම 5:12) මිනිසුන්ගේ කැරලිගැසීමෙන් ඔප්පු වුණේ දෙවිට මිනිසුන්ව පාලනය කිරීමට නොහැකියි කියාද? පොළොව පාලනය කිරීමට දෙවි සතු අයිතිය ඔහු අත්හැරියා කියාද? කොහෙත්ම නැහැ. දෙවි මුල් යුවළව ඒදන් උයනෙන් එළවා දැමුවා. එසේම එයට ඇතුල් වීම වැළැක්වීමට කෙරුබ්වරුන්ව පත් කළා. එයින් පැහැදිලි වුණේ සියල්ල දෙවිගේ පාලනය යටතේ තිබූ බවයි. (උත්. 3:23, 24) ඒ අවස්ථාවේදී ඔහු තම පවුල රැකගන්නා ප්‍රේමණීය පියෙක් යන කාරණයත් ඔප්පු කර පෙන්නුවා. ඒ කෙසේද? අනාගතයේදී බිහි වන යම් කෙනෙක් මාර්ගයෙන් සාතන්ව විනාශ කර ආදම්ගේ පාපය නිසා මිනිසුන්ට අහිමි වූ සෑම දෙයක්ම යළි ලබා දෙන බවත් දේවදූතයන් හා මිනිසුන් නැවතත් එකම පවුලක් ලෙස දෙවිට නමස්කාර කරන බවත් දෙවි පොරොන්දු වුණා.උත්පත්ති 3:15 කියවන්න.

7, 8. (අ) නෝවාගේ කාලය වන විට පොළොවේ තිබුණේ මොන වගේ තත්වයක්ද? (ආ) ඒ සම්බන්ධයෙන් දෙවි ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?

7 ඉන්පසු ගත වූ සියවස් ගණනාව පුරා ජීවත් වූ සමහරු දෙවිට විශ්වාසවන්තව සිටියා. ආබෙල් හා ඒනොක් එවැනි දෙදෙනෙක්. නමුත් මිනිසුන්ගෙන් බහුතරයක් යෙහෝවා දෙවිව ඔවුන්ගේ පියාණන් හා රජු ලෙස පිළිගත්තේ නැහැ. නෝවාගේ කාලය වන විට “පොළොව සැහැසික ක්‍රියාවලින් පිරී තිබුණා.” (උත්. 6:11) එයින් අදහස් කළේ මේ පොළොවේ කාරණාවලට මැදිහත් වීමට දෙවිට කිසිම බලතලයක් නැහැ කියාද?

8 නෝවාටත් ඔහුගේ පවුලේ අයටත් ජීවිත ආරක්ෂා කරගන්න විශාල නැවක් සාදන්න කියා යෙහෝවා දෙවි පැවසුවා. ඒ නැව ඉදි කරන ආකාරය ගැන අවශ්‍ය මඟ පෙන්වීම් සෑම එකක්ම දෙවි ඔහුට ලබා දුන්නා. ‘ධර්මිෂ්ඨකම ගැන දේශනා කිරීමේ’ වගකීමත් දෙවි නෝවාට භාර දුන්නා. දෙවි එසේ සියලුදෙනාටම ඔවුන්ගේ ජීවිත ගලවාගැනීමට අවස්ථාව ලබා දුන්නේ ඔහු ප්‍රේමණීය පියෙක් නිසයි. (2 පේතෘ. 2:5) පැමිණෙන විනාශය ගැනත් පසුතැවිලි වීමේ අවශ්‍යතාව ගැනත් නෝවා කොතරම් දේශනා කළත් ඔවුන් එය තුට්ටුවකටවත් මායිම් කළේ නැහැ. දශක ගණනාවක් පුරා සැහැසියාවෙන් හා අනාචාරයෙන් පිරුණු මිනිසුන්ගෙන් වට වූ සමාජයක ජීවත් වන්න නෝවාටත් ඔහුගේ පවුලේ අයටත් සිදු වුණත් ප්‍රේමණීය පියෙකු ලෙස දෙවි ඔවුන්ව ආරක්ෂා කළා. අවසානයේදී ජලගැල්ම ගෙනැවිත් කැරලිකාර මිනිසුන්ට හා දේවදූතයන්ට දෙවි දඬුවම් කළා. ඒ සෑම දෙයකින්ම ඔප්පු වුණේ පොළොවේ කාරණාවලට මැදිහත් වීමට දෙවිට අයිතිය හා බලතල තිබූ බවයි.උත්. 7:17-24.

පාලනය කිරීමට අයිතිය ඇති තැනැත්තා තමා බව දෙවි අතීතයේදී ඔප්පු කළා (6, 8, 10, 12 සහ 17 ඡේද බලන්න)

පාලකයා දෙවි බව ජලගැල්මෙන් පසුත් ඔප්පු වෙයි

9. ජලගැල්මෙන් පසු මිනිසුන්ට ලැබුණේ කුමන අවස්ථාවද?

9 ජලගැල්ම නිම වී නෝවාත් ඔහුගේ පවුලේ අයත් නැවෙන් පිටතට පය තබද්දී දෙවි තමන්ව ආරක්ෂා කිරීම ගැන ඔවුන් මුළු හදවතින්ම දෙවිට ස්තුති කළ බවට නම් සැකයක් නැහැ. නෝවා ඉක්මනින්ම පූජාසනයක් ගොඩනඟා දෙවිට පූජාවක් ඔප්පු කළේ ඒ නිසයි. දෙවි ඔවුන්ට ආශීර්වාද කර “දරුවන් බිහි කර ගණනින් වැඩි වෙන්න. මුළු පොළොව පුරාම පදිංචි වෙන්න” කියා පැවසුවා. (උත්. 8:20–9:1) පොළොව පුරා පැතිර යමින් එකම පවුලක් ලෙස දෙවිට නමස්කාර කරන්න මිනිසුන්ට නැවතත් අවස්ථාවක් ලැබුණා.

10. (අ) ජලගැල්මට පසුව දෙවිට විරුද්ධව කැරැල්ලක් ආරම්භ වුණේ කෙසේද? (ආ) තම අරමුණ ඒ විදිහටම ක්‍රියාත්මක කිරීම සඳහා දෙවි ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?

10 ජලගැල්මෙන් දුෂ්ටයන් විනාශ වුණත් මිනිසුන්ට උරුමව තිබූ පාපය නම් එයින් ඉවත් වුණේ නැහැ. සාතන්ගේ හා භූතයන්ගේ බලපෑමත් ඒ විදිහටම තිබුණා. එම හේතු නිසා වැඩි කාලයක් ගත වීමට පෙර මිනිසුන් නැවතත් දෙවිට විරුද්ධව කැරලිගැසීමට පෙලඹුණා. නෝවාගේ මුනුපුරෙක් වූ නිම්රොද් ඉන් එක් කෙනෙක්. බයිබලයේ ඔහුව හඳුන්වන්නේ “යෙහෝවා දෙවිට එරෙහිව සිටි බලවත් දඩයක්කාරයෙක්” ලෙසයි. ඔහු බාබෙල් වැනි විශාල නුවරවල් ගොඩනඟා “ෂීනාර් දේශයේ” රජු ලෙස තමන්ව හඳුන්වාගත්තා. (උත්. 10:8-12) ඒ කැරලිකරුවා ගැනත් “පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි” කිරීමට වූ දෙවිගේ අරමුණ වෙනස් කිරීමට ඔහු දැරූ උත්සාහය ගැනත් දෙවි ගත් පියවර කුමක්ද? නිම්රොද්ගේ සියලු සැලසුම් ව්‍යර්ථ කරමින් දෙවි මිනිසුන්ගේ භාෂාව අවුල් කළ නිසා ‘පොළොව පුරා විසිර යන්න’ මිනිසුන්ට සිද්ධ වුණා. එසේ මිනිස් පාලන ක්‍රමත් බොරු නමස්කාරයත් පොළොව පුරා පැතිර ගියා.උත්. 11:1-9.

11. ආබ්‍රහම්ව දෙවි කිසි ලෙසකින්වත් අත්හැරියේ නැහැ කියා පැහැදිලි වන්නේ කෙසේද?

11 ජලගැල්මෙන් පසුව මිනිසුන් වැඩි පිරිසක් බොරු දෙවිවරුන්ට නමස්කාර කළත් කිහිපදෙනෙක් දිගටම යෙහෝවා දෙවිට නමස්කාර කළා. ආබ්‍රහම් ඉන් එක් කෙනෙක්. ඔහු දෙවිට කීකරු වෙමින් අවුරුදු ගණනාවක්ම කූඩාරම්වල වාසය කළා. (උත්. 11:31; හෙබ්‍රෙ. 11:8, 9) බලවත් රජවරුන්ගෙන් හා පවුරුවලින් වට වූ නගරවලින් ලැබෙන ආරක්ෂාව කෙරෙහි ඔහු විශ්වාසය තැබුවේ නැහැ. ඒ වෙනුවට ඔහු සම්පූර්ණ විශ්වාසය තැබුවේ ප්‍රේමණීය පියෙකු මෙන් ඔවුන්ව රැකබලා ගත් යෙහෝවා දෙවි මතයි. ඒ ගැන ගීතිකාකරු මෙසේ පැවසුවා. ‘ඔවුන්ට අයිති දේ පැහැරගැනීමට දෙවි කිසිවෙකුට ඉඩ නොදුන්නේය. ඔහු ඔවුන් නිසා රජවරුන්ට තරවටු කළේය.’ (ගීතා. 105:13, 14) දෙවි තම මිත්‍රයා ලෙස සැලකූ ආබ්‍රහම්ට ‘ඔබෙන් රජවරු බිහි වනු ඇත’ කියා පොරොන්දුවක් දුන්නා. දෙවි ඔහුව කිසි ලෙසකින්වත් අත් නොහරින බවට එයත් සාක්ෂියක්.උත්. 17:6; යාකො. 2:23.

12. සියල්ලේ පාලකයා තමන් බව දෙවි ඊජිප්තුවරුන්ට පෙන්නුවේ කෙසේද? ඊශ්‍රායෙල්වරුන්ට එයින් පැහැදිලි වුණේ කුමක්ද?

12 ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන්ට දෙවි ආශීර්වාද කරන බවටත් ඔවුන් අතරින් රජවරුන් බිහි වන බවටත් වූ පොරොන්දුව දෙවි ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ටත් ඔහුගේ මුනුපුරා වූ යාකොබ්ටත් දුන්නා. (උත්. 26:3-5; 35:11) නමුත් යාකොබ්ගෙන් පැවතෙන්නන්ට අවුරුදු ගණනාවක් පුරා ඊජිප්තුවේ වහලුන් වීමට සිදු වුණා. එයින් අදහස් වුණේ දෙවි තම පොරොන්දුව ඉටු නොකරන බවද? මේ පොළොව පාලනය කිරීමට ඔහු සතු අයිතිය ඔහු අත්හැර තිබූ බවද? නැහැ. යෙහෝවා දෙවි නියමිත කාලයේදී තමන්ගේ බලයත් පාලනය කිරීමට තමන් සතු අයිතියත් මුරණ්ඩු පාරාවෝ රජුට ඔප්පු කර පෙන්නුවා. ඊශ්‍රායෙල්වරුන් දෙවි කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔවුන්ට රතු මුහුද අසලදී පුදුමාකාර ගැලවීමක් දෙවි ලබා දුන්නා. ඔහු ඔවුන්ව ආරක්ෂා කළේ ප්‍රේමණීය පියෙක් ලෙසයි. විශ්වය පාලනය කිරීමේ අයිතිය යෙහෝවා දෙවි සතු බව ඉන් පැහැදිලි වුණා.නික්මයාම 14:13, 14 කියවන්න.

යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ රජු වෙයි

13, 14. (අ) ඊශ්‍රායෙල්වරුන් ගැයූ ගීයෙන් යෙහෝවා දෙවිගේ රජකම ගැන හෙළි වුණේ කුමක්ද? (ආ) දෙවි දාවිත්ට දුන් පොරොන්දුව කුමක්ද?

13 තමන් ලැබූ ඒ මවිතකර ගැලවීම ගැන ප්‍රශංසා ගීයක් ගයනා කරමින් ඊශ්‍රායෙල්වරු පැවසුවේ “යෙහෝවා දෙවි සදාකාලයෙන් සදාකාලයට රජකම් කරන්නේය” කියායි. (නික්. 15:18) එතැන් පටන් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජාතියේ රජු බවට පත් වුණා. (ද්වි. 33:5) නමුත් ඉන් අවුරුදු 400කට පමණ පසුව ඔවුන් ඉල්ලා සිටියේ යෙහෝවා දෙවි ඔවුන්ගේ රජු ලෙස සිටියත් අවට ජාතීන් හා සමානව තමන් අතරින් කෙනෙකුවත් රජු ලෙස පත් කරන්න කියායි. (1 සාමු. 8:5) දෙවි ඒ ඉල්ලීම ඉටු කළත් ඔවුන්ගේ සැබෑ රජු ලෙස දෙවි දිගටම ක්‍රියා කළා. දාවිත් රජුගේ කාලයේ සිදු වූ දෙයකින් එය පැහැදිලියි.

14 දාවිත් ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙනෙන අවස්ථාවේදී ලෙවීවරුන් දෙවිට ප්‍රශංසා ගීයක් ගායනා කළා. ඔවුන් පැවසූ දේ 1 ලේකම් 16:31 සඳහන් වන්නේ මෙයාකාරයටයි. “‘යෙහෝවා දෙවි රජ වී ඇත’ කියා සියලු ජාතීන් අතරේ දැනුම් දේවා!” යෙහෝවා දෙවි සදාකාලික රජු නම් ඒ කාලයේදී දෙවි රජ වී ඇත කියා පැවසුවේ ඇයි? පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා ලෙස දෙවි තමන් සතු බලය පෙන්වන අවස්ථාවලදීත් විශ්වයේ පාලකයා ලෙස තමාව නියෝජනය කරමින් පාලනය කිරීමට යම් කෙනෙකුව දෙවි පත් කරන අවස්ථාවලදීත් දෙවි රජ වී ඇත කියා පැවසිය හැකියි. ඒ කාරණය වටහාගැනීම ඉතා වැදගත්. එවැනි අවස්ථාවක් දැන් බලමු. දාවිත් මිය යෑමට කලින් දෙවි ඔහුට පොරොන්දු වුණේ ඔහුගේ රජකම සදාකාලයටම පවතින බවයි. “ඔබේ පෙළපතින් පැමිණෙන ඔබේ පුත්‍රයෙකුට මම ඔබේ රාජ්‍යය භාර දෙන්නෙමි. මම ඔහුගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන්නෙමි” කියා දෙවි පැවසුවා. (2 සාමු. 7:12, 13) දාවිත්ගෙන් පැවත ආ එම තැනැත්තා බිහි වුණේ දෙවි ඒ පොරොන්දුව දී අවුරුදු 1,000කටත් වැඩි කාලයකට පසුවයි. ඒ කවුද? ඔහු රජ වුණේ කවදාද?

දෙවි අලුත් රජෙකුව පත් කරයි

15, 16. අනාගත රජු ලෙස යේසුස්ව අභිෂේක කළේ කවදාද? පොළොවේ සිටි කාලයේදී දේවරාජ්‍යය වෙනුවෙන් ඔහු කළේ මොනවාද?

15 ක්‍රි.ව. 29දී යොහන් “ස්වර්ග රාජ්‍යය ළං වී තිබෙනවා” කියා දේශනා කිරීම ආරම්භ කළා. (මතෙ. 3:2) යොහන්, යේසුස්ව බව්තීස්ම කළ අවස්ථාවේදී යෙහෝවා දෙවි යේසුස්ව පොරොන්දු වූ ගැලවුම්කරු ලෙසත් දේවරාජ්‍යයේ අනාගත රජු ලෙසත් අභිෂේක කළා. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි” කියා දෙවි යේසුස්ට පැවසුවේ ප්‍රේමණීය පියෙකු ලෙසයි.මතෙ. 3:17.

16 යේසුස් දේවරාජ්‍යය ගැන දේශනා කිරීමෙන් තම පියාව ගෞරවයට පත් කළා. (ලූක් 4:43; යොහ. 17:4) එසේම දේවරාජ්‍යය පැමිණෙන්න කියා යාච්ඤා කරන්න කියාත් ඔහු තම ගෝලයන්ට ඉගැන්නුවා. (මතෙ. 6:10) “දෙවිගේ රාජ්‍යය තිබෙන්නේ ඔබ අතරෙහියි” කියා ඔහු වරක් තම විරුද්ධවාදීන්ට පැවසුවේ දේවරාජ්‍යයේ අනාගත රජු වන ඔහු ඔවුන් අතරේ සිටි නිසයි. (ලූක් 17:21) ඔහුගේ මරණයට පෙර ඔහු තම නියෝජිතයන් සමඟ “රාජ්‍යයක් සඳහා ගිවිසුමක්” ඇති කරගැනීමෙන් දේවරාජ්‍යයේ හවුල් පාලකයන් වීමේ වරප්‍රසාදය ඔවුන්ට ලබා දුන්නා.ලූක් 22:28-30 කියවන්න.

17. ක්‍රි.ව. 33දී පාලනය කිරීමට දෙවි යේසුස්ට භාර දුන්නේ කුමක්ද? යේසුස්ට බලා සිටීමට සිදු වුණේ කුමක් සඳහාද?

17 යේසුස් දේවරාජ්‍යයේ රජු ලෙස පාලනය ආරම්භ කළේ කවදාද? ඔහුට එය ඉක්මනින්ම කිරීමට නොහැකි වුණා. ඔහුව මරණයට පත් කළා. එසේම ඔහුගේ නියෝජිතයන් සීසීකඩ විසිර ගියා. (යොහ. 16:32) නමුත් සියල්ල තිබුණේ දෙවිගේ පාලනය යටතේයි. තුන්වෙනි දිනයේදී දෙවි තම ප්‍රේමණීය පුත්‍රයාව මරණයෙන් නැවත නැඟිටෙව්වා. එසේම ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දිනයේදී අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත සභාව පාලනය කරන්න ඔහුව පත් කළා. (කොලො. 1:13) ඒ වුණත් රජු ලෙස පාලනය ආරම්භ කිරීමට යේසුස්ට යම් කාලයක් බලා සිටීමට සිදු වුණා. දෙවි තම පුත්‍රයාට පැවසුවේ “මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු මාගේ දකුණු පැත්තේ හිඳගන්න” කියායි.ගීතා. 110:1.

සදාකාලික රජුට නමස්කාර කරන්න

18, 19. අප තුළ පෙලඹීමක් ඇති වන්නේ කුමක් සඳහාද? ඊළඟ ලිපියේ අප සලකා බලන්නේ කුමන කාරණා ගැනද?

18 සියවස් ගණනාවක් පුරා සියල්ලේ පාලකයා ලෙස දෙවි සතු අයිතියට මොන තරම් අභියෝග පැමිණියත් පාලනය කිරීම සඳහා ඔහු සතු අයිතිය දෙවි අත්හැරියේ නැහැ. සියල්ල ඔහු තම පාලනය යටතේ තබාගත්තා. ප්‍රේමණීය පියෙකු ලෙස ඔහු නෝවා, ආබ්‍රහම්, දාවිත් වැනි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව ආරක්ෂා කළා. ඒ ගැන දැනගැනීමෙන් අපගේ රජුට තව තවත් ළං වන්නත් ඔහුගේ පාලනයට යටත් වන්නත් අප තුළ පෙලඹීමක් ඇති වන්නේ නැද්ද?

19 නමුත් දෙවි අපගේ කාලයේදී රජ වී ඇත්තේ කෙසේද? දේවරාජ්‍යයේ යටත්වැසියන් ලෙසත් විශ්වය පුරා පැතිර සිටින දෙවිගේ පවුලේ සාමාජිකයන් ලෙසත් ක්‍රියා කරන්න අපට හැක්කේ කෙසේද? දෙවිගේ රාජ්‍යය පැමිණේවා කියා යාච්ඤා කිරීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එම ප්‍රශ්නවලට පිළිතුරු අප ඊළඟ ලිපියේ සලකා බලමු.