ඔබ මේ ගැන දැන සිටියාද?
අපරාධකරුවන්ව මරණයට පත් කරද්දී කකුල් කැඩුවේ ඇයි?
යේසුස්ව සහ අපරාධකරුවන් දෙදෙනාව වධකණුවේ එල්ලා සිටියදී ‘යුදෙව්වරුන් ඔවුන්ගේ කකුල් කඩා, එතැනින් මළ සිරුරු ඉවත් කිරීමට පිලාත්ගෙන් අවසර ලබාගත්තා’ කියලා බයිබලයේ වාර්තා වෙනවා.—යොහන් 19:31.
අපරාධකරුවෙක්ගේ මළ සිරුර “මුළු රාත්‍රිය පුරාම ඒ කණුවේ එල්ලා තබන්න එපා” කියා යුදෙව් නීතියේ සඳහන් වුණා. (ද්විතීය කතාව 21:22, 23) රෝමවරුන්ගේ අණසක යටතේ මරපු අය සම්බන්ධයෙනුත් යුදෙව්වන් ඒ නීතියම ක්‍රියාත්මක කළා. යුදෙව්වන් යේසුස්ගේ සහ අපරාධකරුවන්ගේ කකුල් කැඩීමට අවසර ඉල්ලුවේ ඔවුන්ගේ මරණය ඉක්මන් කරන්නත් සබත් දවසට කලින් ඔවුන්ගේ මළ සිරුරු තැන්පත් කරන්නත් අවශ්‍ය නිසයි.
ඒ වගේ මරණ දඬුවමක් දෙන විට බොහෝ අවස්ථාවලදී කළේ ඒ කෙනාව කණුවක තබා ඔහුගේ අත් පා පසාරු කරගෙන යන විදිහට ඇණ ගැසීමයි. කණුව කෙළින් කළාම ශරීරයේ මුළු බරම ඇණවල රඳා තිබෙන නිසා අධික වේදනාවක් දැනෙනවා. හුස්ම ගන්න වෑයමක් දරනකොට උඩට ඉස්සෙන්න කකුල්වලින් වාරු ගන්න සිදු වෙනවා. ඒත් ඔහුගේ කකුල් කැඩුවාම එහෙම කරන්න බැරි වෙන නිසා ඔහුට හුස්ම ගන්න අමාරු වෙනවා. හුස්ම ගන්න අමාරු නිසා හෝ කකුල් කඩපු ගමන් දැනෙන කම්පනය නිසා හෝ ඔහුගේ මරණය ඉක්මන් වෙනවා.
ඉපැරණි කාලයේ සටන්වලදී ගල්පටිය භාවිත කළේ කොහොමද?
දාවිත් යෝධ ගොලියත්ව මරන්න භාවිත කළ ආයුධය ගල්පටියයි. පෙනෙන විදිහට දාවිත් එඬේර කොල්ලෙක්ව සිටි කාලයේදී ගල්පටිය භාවිත කිරීමේ හැකියාව ප්‍රගුණ කර තිබුණා.—1 සාමුවෙල් 17:40-50.
ඊජිප්තුවරුන්ගේ හා ඇසිරියානුවන්ගේ පැරණි චිත්රවල ගල්පටි දකින්න තිබෙනවා. මේ ගල්පටි සාදා තිබුණේ මෙහෙමයි. කුඩා සම් කෑල්ලක හෝ රෙදි කැබැල්ලක දෙපැත්තට පටි දෙකක් හෝ හීනි ලණු සවි කර තිබුණා. ගල්පටිය මැද්දට යොදාගත්තේ දොඩම් ගෙඩියක් තරම් ලොකු ග්‍රෑම් 250ක් විතර බර සුමුදු රවුම් ගලක්. ඒ වගේ ගලක් තබා පින්තූරයේ පෙනෙන පරිදි අත ඔසවා ගල ඈතට විසි කරනවා. එසේ කරන්නේ කීප වතාවක්ම ගල්පටිය වේගයෙන් කරකවා එක පටියක් මුදාහැරීමෙනුයි. එවිට ගල ඉලක්කය වෙතට වේගයෙන් යනවා.
මැද පෙරදිග සිදු කළ කැණීම්වලින් ඉපැරණි කාලවල සටන් කිරීමේදී භාවිත කළ එවැනි ගල් සොයාගෙන තිබෙනවා. ගල්පටිය දක්ෂ ලෙස භාවිත කළ යුධ භටයන් පැයට කිලෝමීටර් 160ත් 240ත් අතර වේගයකින් ගල් මුදාහරින්න ඇති. ඊතලයක් තරම් ඈතට ගල්පටියකින් ගල් යවන්න පුළුවන්ද කියලා ප්‍රවීණයන් සැක කළත් ඒ දෙකෙන්ම සිදු වන හානියේ නම් වෙනසක් නැහැ.—විනිශ්චයකරුවෝ 20:16.