Skip to content

පටුනට යන්න

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

JW සැටලයිට් නාලිකාවක්

JW සැටලයිට් නාලිකාවක්

2021 අප්‍රියෙල් 1

 හැම මාසෙකම JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන් සහ වීඩියෝ බලන්න අපි හරිම ආසාවෙන් ඉන්නවා. ඒත් අප්‍රිකාවේ ඉන්න අපේ සහෝදරයන්ට ඉන්ටර්නෙට් එකෙන් ඒ වැඩසටහන් බලන්න විදිහක් නැහැ. ඒ ඇයි?

 අප්‍රිකාවේ හුඟක් රටවල ඉන්ටර්නෙට් පහසුකම් නැති තරම්. ඉන්ටර්නෙට් තියෙන රටවල වුණත් ඒ හරහා වැඩසටහන් ඩවුන්ලෝඩ් කරගන්න සෑහෙන වෙලාවක් යනවා. ලොකු වියදමකුත් යනවා. උදාහරණයක් බලන්න. මැඩගස්කරයේ ඉන්න චාරිකා සේවකයෙක් JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන ඩවුන්ලෝඩ් කරගන්න ඉන්ටර්නෙට් කැෆේ එකකට ගියා. එයාගේ බිල ඩොලර් 16ක් (රුපියල් 3,200ක් විතර). ඒක එහෙ ඉන්න සමහර අය සතියකට හම්බ කරන ගාණටත් වඩා වැඩියි. a

 ඒ මොන ප්‍රශ්න තිබුණත් අප්‍රිකාවේ ඉන්න මිලියන ගාණක් ඉන්ටර්නෙට් නැතුවම JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන බලනවා. ඒ කොහොමද?

 2017 ඉඳන් අප්‍රිකාවේ හුඟක් රටවල ඉන්න අයට සැටලයිට් හරහා ටීවී එකෙන්ම JW බ්‍රෝඩ්කාස්ටිං බලන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ ටීවී චැනල් එක භාෂා 16කින් සතියේ දවස් හතේ පැය 24 පුරාම කිසිම අය කිරීමක් නැතුව බලන්න පුළුවන්.

2018දී මොසැම්බික්වල ඉන්න සහෝදරයෙක් එයාලගේ නමස්කාර මධ්‍යස්ථානයේ JW සැටලයිට් එකක් සවි කරනවා

 කොහොමද ඒක කළේ? මුලින්ම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රූපවාහිනී ආයතනයක් එක්ක කතා කරගත්තා එයාලගේ නාලිකාව හරහා අපේ වැඩසටහන් පෙන්නන්න. ඊටපස්සේ අප්‍රිකාවේ රටවල් 35ක විතර සැටලයිට් හරහා ඒ වැඩසටහන් විකාශනය කරන්න පුළුවන් වුණා. ඒකට හැම මාසෙකම ඩොලර් 12,000කටත් වඩා වැඩි මුදලක් (රුපියල් ලක්ෂ 24ක් විතර) ඒ ආයතනයට ගෙවන්න වෙනවා. ඒකට අමතරව කාලෙන් කාලෙට සජීවී වැඩසටහන් වෙනත් රූපවාහිනී නාලිකා හරහාත් පෙන්නන්න වෙනවා. එහෙම වෙද්දී අමතර වියදමක් දරන්නත් වෙනවා. හැබැයි කොච්චර වියදමක් ගියත් සමුළුවලින්, විශේෂ වැඩසටහන්වලින් අපේ සහෝදරයන් දහස් ගාණක් අද්දකින සතුට ඒ කිසිම දේකට සම කරන්න බැහැ.

2018දී මලාවිවල ප්‍රාදේශීය නිර්මාණ/ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන සහෝදරයන් JW සැටලයිට් නාලිකාව බලනවා

 සැටලයිට් හරහා ගෙවල්වල ඉඳන් මේ වැඩසටහන් බලන්නේ සාක්ෂිකරුවන් විතරක් නෙවෙයි. සාක්ෂිකරුවන් නොවන අයත් ඒවා බලනවා. හැබැයි අපේ සමහර සහෝදරයන්ට මේ වැඩසටහන් බලන්න ගෙදර ටීවී එකක්වත් නැහැ. ඒ වගේ සහෝදරයන් වෙනුවෙන් නමස්කාර මධ්‍යස්ථාන 3,670කටත් වඩා වැඩි ගාණක බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන බලන්න අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. ටීවී එකක් හරි ප්‍රොජෙක්ටර් එකක් හරි තියෙන නමස්කාර මධ්‍යස්ථානයක ඒ පහසුකම ලබා දෙන්න වියදම් වෙන්නේ ඩොලර් 70ක් (රුපියල් 14,000ක්) විතර. හැබැයි එහෙම නැති නමස්කාර මධ්‍යස්ථානවලට ඒ පහසුකම් ලබා දෙන්න ඩොලර් 530ක් (රුපියල් ලක්ෂයක්) විතර යනවා.

 සැටලයිට් හරහා ඒ වැඩසටහන් බලන්න පුළුවන් වෙලා තියෙන එක අපේ සහෝදර සහෝදරියන් ගොඩක් අගය කරනවා. කැමරූන්වල ඉන්න වැඩිමහල්ලෙක් කියනවා “අපිට දැනෙන්නේ හරියට පාළුකරයේදී මන්නා ලැබුණා වගේ” කියලා. නයිජීරියාවේ සහෝදරයෙක් වන ඔඩේබෝඩ් මෙහෙම කියනවා. “අපේ පවුලේ අය මේ චැනල් එක සතියකට තුන්පාරක් බලනවා. අපේ පුතාලා තුන්දෙනා හරිම ආසයි මේ වීඩියෝ බලන්න. එයාලා හැම තිස්සේම අහනවා අපි ඒක බලමුද කියලා.” නයිජීරියාවේ සහෝදරී රෝස් කියන දේ බලන්න. “ඉස්සර මගේ වැඩේම දවස තිස්සේ නිව්ස් බලන එක. ඒවා බලද්දී මට ලොකු පීඩනයක් දැනුණා. මගේ ප්‍රෙෂර් එකත් වැඩි වුණා. හැබැයි JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන් බලද්දි නං හිතට පුදුම සහනයක් දැනෙන්නේ. ඒක තමයි දැන් මං ආසම චැනල් එක. ඇත්තටම ඒක යෙහෝවාගෙන් මට ලැබුණු ලොකුම ලොකු තෑග්ගක්.”

මලාවිවල ඉන්න පවුලක් දරුවන්ට තියෙන වීඩියෝ එකක් සැටලයිට් නාලිකාවෙන් බලනවා

 මොසැම්බික්වල චාරිකා සේවකයෙක් කියනවා එයාගේ චාරිකාවේ තියෙන නමස්කාර මධ්‍යස්ථානවල අපේ බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන් බලන්න ඕන කරන හැම දෙයක්ම සකස් කරලා තියෙනවා කියලා. ඒ සභාවල ඉන්න අපේ සහෝදරයන් රැස්වීම් පටන්ගන්න කලින්ම නමස්කාර මධ්‍යස්ථානයට ගිහින් හරිම සතුටින් අපේ බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන් බලනවා.

2018දී ඉතියෝපියාවේ සහෝදරයන් සභාවක් විදිහට JW සැටලයිට් නාලිකාවෙන් බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන බලලා ඒ ගැන සතුටින් කතා කරනවා

 2019 දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්වල පවත්වපු ජාත්‍යන්තර සමුළුවේ දේශන විකාශනය කරන්නත් ඒ සැටලයිට් නාලිකාව පාවිච්චි කරලා තියෙනවා. පාලක මණ්ඩලයේ සහෝදරයන්ගේ දේශන ඇතුළු මූලික දේශන කීපයක්ම තැන් නවයක ඒ විදිහට විකාශනය කළා. දකුණු අප්‍රිකාවේ ශාඛා කාර්යාලයේ බ්‍රෝඩ්කාස්ටිං අංශයේ සේවය කරන සහෝදර ස්පුමෙලෙලේ මෙහෙම කියනවා. “ඉස්සර අපිට සහෝදරයන් දීපු කිසිම දේශනයක් අහන්න විදිහක් තිබුණේ නෑ. මොකද මෙහෙට ඉන්ටර්නෙට් සිග්නල් හරිම අඩුයි. අනික ඒකට යන ගාණත් සැරයි. හැබැයි අපේ JW සැටලයිට් චැනල් එක නිසා ඒ හැම ප්‍රශ්නයක්ම විසඳුණා.”

 සහෝදරයෙනි, ඔයාලා දෙන සම්මාදම්වලට ගොඩක් ස්තුතියි. මොකද ඒ සම්මාදම් නිසා තමයි අප්‍රිකාවේ ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන් බලන්න පුළුවන් වෙලා තියෙන්නේ. donate.pr2711.com වෙබ් අඩවිය හරහා විවිධ විදිවලින් ඔයාලා දෙන සම්මාදම් අපි ඇත්තටම ගොඩක් අගය කරනවා.

a මේ ලිපියේ ඩොලර් කියලා කියන්නේ ඇමරිකානු ඩොලර්වලටයි.