Skip to content

පටුනට යන්න

දෙවියන්ගේ නීතිවල වටිනාකම මිනිසුන් තේරුම්ගත්තේ අවුරුදු දහස් ගාණකට පස්සේ

දෙවියන්ගේ නීතිවල වටිනාකම මිනිසුන් තේරුම්ගත්තේ අවුරුදු දහස් ගාණකට පස්සේ

 ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ඒ කියන්නේ මීට සියවස් 35කට විතර කලින් දෙවියන් එයාලට පොරොන්දු වුණා ඊජිප්තු දේශයේදී එයාලා දැක්ක “දරුණු රෝගවලින්” එයාලව ආරක්ෂා කරනවා කියලා. (ද්විතීය කතාව 7:15) දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව ආරක්ෂා කරපු එක විදිහක් තමයි ලෙඩ රෝග පැතිරෙන එක වළක්වන්න සහ පිරිසිදුව ඉන්න අවශ්‍ය මඟ පෙන්වීම් එයාලට දුන්න එක. උදාහරණෙකට:

  •   තමන්ගේ වස්ත්‍ර සෝදාගන්න එක සහ නාගන්න එක නීතියට අනුව ඊශ්‍රායෙල්වරුන්ට අනිවාර්යය දෙයක් වුණා.—ලෙවී කතාව 15:4-27.

  •   දෙවියන් එයාලට මෙහෙම කිව්වා. “කඳවුරේ සිටින අයට මලපහ කිරීම සඳහා වෙනම ස්ථානයක් වෙන් කළ යුතුයි. එම ස්ථානය තිබිය යුත්තේ කඳවුරෙන් පිටතයි. ඔබ මලපහ කිරීමට එම ස්ථානයට යන විට කුඩා ආයුධයක්ද රැගෙන යන්න. එයින් වළක් හාරා එහි මලපහ කරන්න. ඉන්පසු එය පස්වලින් වසා දමන්න.”—ද්විතීය කතාව 23:12, 13.

  •   බෝ වෙන රෝගයක් වැලඳිලා තියෙන කෙනෙක්ව යම් කාලයක් යන කල් අනිත් අයගෙන් වෙන් කරලා තියන්න ඕනේ. ඒ රෝගය හොඳ වෙලා මිනිසුන් අතරට ආයෙත් එන්න කලින් ඒ කෙනා එයාගේ වස්ත්‍ර සෝදාගෙන නාගන්න ඕනේ. එතකොටයි ඒ කෙනාව “පවිත්‍ර” කෙනෙක් හැටියට සැලකුවේ.—ලෙවී කතාව 14:8, 9.

  •   මළ සිරුරක් ස්පර්ශ කළ කෙනෙක් දවස් කීපයක් යන කල් අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්න ඕනේ.—ලෙවී කතාව 5:2, 3; ගණන් කතාව 19:16.

 ඊශ්‍රායෙල්වරුන් පිළිපැද්ද ඒ ප්‍රමිති නිවැරදියි කියලා වෛද්‍ය විද්‍යාවෙන් තහවුරු කළේ මෑත කාලවලදියි.

 ඒ කාලේ හිටපු අනිත් ජාතීන් අතරේ ඒ වගේ උසස් ප්‍රමිති දකින්න තිබුණේ නැහැ. උදාහරණෙකට:

  •   අපිරිසිදු වතුර, කෑම සහ වෙනත් අපද්‍රව්‍ය නිසා හුඟදෙනෙක් අසනීප වුණා. ළදරුවන් හුඟදෙනෙක් මිය ගියා.

  •   අතීතයේ හිටපු වෛද්‍යවරුන්ට විෂබීජ ගැන දැනුමක් තිබුණේ නැති තරම්. ඊජිප්තුවරු බෙහෙත් හැටියට කටුස්සන්ගේ ලේ, පැස්තුඩුවන්ගේ බෙටි, මැරුණු මීයන්, මුත්‍රා සහ පුස් කාපු පාන් පාවිච්චි කළා. මිනිසුන්ගේ සහ සතුන්ගේ මලපහත් බෙහෙත් හේත් කරන්න පාවිච්චි කළා.

  •   නයිල් ගඟේ සහ ඒකේ ඇළ මාර්ගවල වතුර හුඟක් අපිරිසිදු නිසා ඊජිප්තුවරුන්ට විවිධ ලෙඩ රෝග වැලඳුණා. අපිරිසිදු කෑම නිසා වැලඳෙන පාචනය සහ ඒ වගේ වෙනත් ලෙඩ නිසා ඊජිප්තුවේ හිටපු හුඟක් ළදරුවන් මිය ගියා.

 සනීපාරක්ෂාව සම්බන්ධයෙන් දෙවියන් දීපු නීති ඊශ්‍රායෙල්වරුන් පිළිපැද්ද නිසා අනිත් ජාතීන් එක්ක බලද්දී එයාලට හොඳ ශරීර සෞඛ්‍යයක් තිබුණා.